Thursday, March 31, 2016

Voice Of Modern Girl - සජිනි නවරත්න


2015 වසරේ අපි අපේ කාලයේ තරුණියන් සමග සංවාදයක යෙදුනෙමු. 

2016 වසරේදී වඩා යහපත් සමාජයක් සදහා තරුණියන්ගේ දායකත්වය ඉතා ඉහළින් ලැබේවා යන ප‍්‍රාර්ථනාවත් සමග අපි අද “මොඩර්න් ගර්ල් කොලම” සමග එකතුවන තරුණිය හඳුනා ගනිමු.

2016 අප සමග ප‍්‍රථමයෙන්ම එකතු වන්නේ සජිනි නවරත්න. ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප‍්‍රසාංගික කලා (නාට්‍ය හා රංග කලාව) විශේෂවේදී උපාධිය සාර්ථකව නිමකර දැනට පුද්ගලික දැන්වීම් ප‍්‍රචාරක ආයතනයක ලේඛිකාවක ලෙස සේවයේ නියුක්ත වේ. 2015 ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ කෙටි නාට්‍යය අංශයේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවේද සජිනි නවරත්නයි.

සජිනි නවරත්න

ප‍්‍රශ්නය - ශ‍්‍රී ලාංකික සමාජය තුළ කාන්තාවන් රංගන ක්ෂේත‍්‍රයට යොමුවන විට පැමිණෙන බාධා සහ බලපෑම් ඉතා වැඩියි. මේ නිසාම රංගන ශිල්පිනියක් කියූ විගසම සමාජය ඒ තැනැත්තිය දෙස බලන්නේ වෙනස්ම කෝණයකින්. පවුල් පසුබිමකින් වුවත් රංගනය වෘත්තිය ලෙස තෝරා ගැනීමට කෙරෙන දිරිමත් කිරීම ඉතාම අවමයි. මෙවන් පසුබිමක් තුළ රංගන ශිල්පිනියක් වීමට හිතන්නේ ඇයි? දැනටමත් වේදිකා රංගන ශිල්පිනියක් ලෙස ඔබ මෙයට මුහුණ දෙන්නේ කෙසේද?

සැබවින්ම ඔබ අහපු ප‍්‍රශ්නය තුළම මගේ පිළිතුරත් අන්තර්ගත වෙනවා කියලයි මට හිතෙන්නේ. මම මේ විදිහට ඒක විස්තර කරන්නම්කෝ.

මම නාට්‍ය හා රංග කලාව නමැති විෂය පාසලේදී හදාරන්න පටන් ගන්නේ නොසිතූ මෙහොතක බොහොම අහම්බයකින්. නැතුව නාට්‍යකරුවෝ පවතින සමාජය වෙතට හෙළන ප‍්‍රතිවිරෝධි දෘෂ්ඨියට පිස්සු වැටිලවත්, රැඩිකල් වෙන්න උවමනාවකටවත් නෙවෙයි. මොකද නාට්‍ය කලාව කියන්නේ, නාට්‍යකරුවෝ කියන්නේ එහෙම විෂයක්, එහෙම පිරිසක් කියලා මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ. එහෙම දැනුවත් නොවෙන්න හේතුව ම තමයි අර්බුදය. මම අධ්‍යාපනය හැදෑරුවේ මහනුවර නගරයේ ඉහළින්ම වැජඹෙන උසස් බාලිකා විදුහලක. හැබැයි ඒ පාසලේ 2010 වසරේ නාට්‍ය හා රංග කලාව උසස් පෙළ විෂයක් ලෙස හැදෑරුවේ සිසුවියන් 4 දෙනයි. ඊට පස්සේ අවුරුද්දේ දෙන්නයි. ඉන් පසු අවුරුද්දට මට මතක හැටියට කවුරුත්ම හිටියේ නෑ. මේ තත්ත්වයත් එක්ක මම හිතුවේ ඒ විෂය කිසිම වැදගැම්මකට නැති, වෘත්තිය පදනමක් නැති, කෙනෙකුට “ මම Drama කරන්නේ” කියලා අභිමානයෙන් කියන්න බැරි, ලැජ්ජා උපදවන විෂයක් විදිහටයි. මං මගේ අතීතය මේ විදිහට ආවර්ජනය කරන්න හිතුවේ ලංකාව ඇතුළේ කොළඹින් බැහැර වුනාම මගේ විෂයට ඇති තත්ත්වය පැහැදිලි කරන්න. ඒ විෂය සියල්ල වාණිජකරණය වන ලංකාව ඇතුළෙ නොනැසී පවත්වගන්න නම් නාට්‍යකරුවෝ විදිහට අපි ලොකු අරගලයක් කරන්න වෙනවා.

ඊට පස්සේ මම නාට්‍ය හා රංග කලාව උපාධියක් දක්වා හැදෑරීමට විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබවා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට ඇතුල් වුණාට පස්සේ තමයි ඒ විෂය කොයිතරම් අපූරු විෂයක්ද කියලා අඳුරගන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම “රූපණ වේදය” කියන්නේ කොතරම් අපූරු විස්මයජනක දාර්ශනික පදනමක් සහිත විද්‍යාවක්ද කියලා දැනගන්න ලැබෙන්නේ.

ඊට පස්සේ මම රංගනයත් එක්ක ජීවත් වෙනකොට අර ඔයා මුලින් මගෙන් අහපු, මටත් කාලයක් ප‍්‍රශ්නයක් වෙලා තිබුණු, ප‍්‍රශ්න වලට උත්තර මට හම්බුණා. ඇත්තෙන්ම සමාජ සම්බාධක වලට සිරගත වෙලා තිබුණු මගේ ජීවිතයට නිදහස ලැබුණා. මට ඒ විෂය ඇතුළේ ලැබුණු නිදහස අසීමිතයි. මට  ඕන විදිහට කතා කරන්න, මට  ඕන විදිහට ජීවත් වෙන්න, මට  ඕන දේවල් කරන්න මට වේදිකාව උඩ හැකියාව ලැබුණා. ඉපදීමත් එක්ක සමාජය විසින් බලෙන් මට උරුම කරලා දුන්නු ගොඩක් දේවල් වේදිකාව පාමුල තියලා සැහැල්ලූවෙන් ඒ නිදහස් ලෝකයට ඇතුල් වෙන්න මට හැකියාව ලැබුණා. මම ඒ වේදිකාව තුළ හිමි කරගත්ත නිදහස කවදාවත් සැබෑ ලෝකය තුළ අත්වි`දින්න පුළුවන්කමක් ලැබුණේ නෑ. ලැබෙන්නෙත් නෑ. හැබැයි මම වේදිකාවට ගොඩවෙද්දි ඒ පාමුල තියපු සමහර දේවල් එතනම අතහැරලා එන්න මට පුළුවන්කම ලැබුණා. ඒත් සමහර දේවල් බලෙන් මගේ කර මතට පැන්නා. හැබැයි දැන් මගේ බර ඉස්සරට වඩා සැහැල්ලූයි.

දැන් මගේ විශ්ව විද්‍යාල ජීවිතය අවසන්. ඒ නිසා මම මේ ධනේෂ්වර ලෝකයත් එක්ක ජීවත් වීම වෙනුවෙන් අරගල කරන්න සිද්ධ වෙලා. ඒ නිසා මම නාට්‍ය ලෝකය තුළ අවබෝධ කරගත්ත සත්‍යය අතහැරලා ජනප‍්‍රිය සත්‍යය එක්ක ගනුදෙනු කරනවා. හෘද සාක්ෂියට විරුද්ධව. හැබැයි මම තාමත් ඒ අපූරු නිදහස විදින්න වේදිකාව උඩට ගොඩවෙන්න ආසයි. පුළුවන් හැම වෙලාවකදිම මම ඒක කරනවා. නමුත් මට ඒකට වැඩි ඉඩකඩක් කාලය හා සමාජය විසින් ලබා නොදෙන නිසාම ලේඛිකාවක් විදිහට පෑන මෙහෙයවමින් ඒ නිදහස ලබා ගන්න උත්සාහ දරනවා. ඒ මං පිටු උඩ මවන ප‍්‍රබන්ධ ලෝක ඇතුළේ...

සංවාද සටහන - නිපුනිකා මෙලන්ති

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...