Sunday, June 19, 2016

ඇදහිලිවන්තයෙකුගේ කටු සටහන්




අඩු වයස් ගැබිනි මව්වරු 24,000 ක්

සෑම වසරකම ලංකාවේ අඩු වයස් ගැබිනි මව්වරු 24,000 ක් හමුවන බව සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයක සඳහන් විය.

මේ නව යොවුන් මව්වරුන්ගේ ජීවිත මෙන්ම ඔවුන් බිහි කරන දරුවන්ගේ ජීවිතද අප සමාජයේ බේදවාචකයකි. නමුත් ඒ පිලිබඳ සමාජ අවධානය ඉතා අඩුයි.

මේ මව්වරු මෙන්ම ඔවුන්ගේ දරුවන්ද නඟා සිටුවීමේ වගකීමක් විශේෂයෙන් ආගමික අංශ පවරාගත යුතුය. අනිත් අතට වඩා වැදගත් වන්නේ එවැනි ගැබිනියන් බිහි වීම වැලැක්වීමට කටයුතු කිරිමයි.

අප නිතර අවධාරණය කරන කිතුනු සභාවන්ගේ නව යොවුන් දූත කාර්යයමේ වෙත යොමුවිය යුතුය. නමුත් අවාසනාව වී ඇත්තේ සභාවන් මේ පිළිබඳ උදාසීනව කටයුතු කිරිමයි.

ඉටි මැයි මංගල්‍යය

ගිය වසරේ මැයි මාසයේ අවසාන ඉරිදා අප කළුතර සිට මීගමුව බලා ගියේ සාකච්ඡා වටයකට සහභාගී වීමටය. පෑලියගොඩ සිට මීගමුව දක්වා ප‍්‍රධාන පාරේ තැනින් තැන මඟ දෙපස සුදු හා නිල් ඉටිකොල සැරසිලි කිලෝමීටර් ගණනාවක් පුරා දැකිය හැකි විය. ඒ මැයි මංගලයය උදෙසාය.

පරිසරයට විශාල විනාශයක් කරන ඉටි කොල භාවිතා කරමින් දේව මාතාවන්ට ගරු කළ හැකිද? විශේෂයෙන් කතෝලික සභාව දේව මාතාවන් සොබාදහමේ රාජිණිය ලෙස සලකයි. ඉතිං සොබාදහම වනසන සැරසිලි වලින් සොබාදහමේ රාජිණියන් සතුටු වේද?

අපගේ හෘද සාක්ෂිය වඩා ගැඹුරට මෙහෙයවීම අත්‍යවශ්‍ය වන්නේ එසේ නොවන විට අප ගරු කිරිම යැයි සිතා නිගරු කිරිම සිදු කරන්නන් බවට පත්වන බැවිනි. සුදතුම් පියතුමා සොබාදහම ගැන විශ්ව ලේඛනයක් නිකුත්කර ඇති මේ වසරේවත් මේ ගැන සිතා කි‍්‍රයාකිරිමට යොමු විය යුතුය.

ටි‍්‍රනිටි ආදර්ශය

එච්. අයි. වී. ඒඞ්ස් රෝගය වැලදි ඇති නිසා පාසලට ඇතුලත් කර තැනත්තා නොගන්නා ලෙස ප‍්‍රදේශවාසින් බල කිරිම නිසා පාසල අහිමි වු කුලියාපිටියේ දරුවා ගැන ආන්දෝලනය දැන් පරණ කතාවකි.

ධර්ම ද්වීපයේ අධ්‍යාපන ඇමති ගේ සිට බොහෝ සත් ගුණවත් පුරවැසියන්ගේ නිරුවත ඉන් මනාව පැහැදිලි විය. මිල මුදල් මිස මිනිස්කම් වටිනාකම් ලෙස නොගන්නා බවට නිතර දෝෂ දර්ශනයකට ලක්වන කිතුනු ආගමික පෞද්ගලික පාසල් පද්ධතියේ පාසලක් මේ අඳුරු වලාවේ රිදි රේඛාවක් වීම ගැන සටහනක් තැබිය යුතුමය.

මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය එම දරුවා තම පාසලට බාර ගැනීම ප‍්‍රශංසනීය කටයුත්තකි. මේ පිලිබඳ බොහෝ ජනමාධ්‍ය වාර්තාවල එය කතෝලික පාසලක් ලෙස සටහන් කෙරුනි. බොහෝ අවස්ථාවල තම නම ගැන ප‍්‍රකාශ නිකුත් කරන කතෝලික සභාව මෙවර ඒ පාසල අපේ නොවේ යැයි ප‍්‍රකාශ නොකෙළේය. ති‍්‍රත්ව විද්‍යාලය ලංකා සභාවට අයත් පාසලකි. පසුගිය කාලයේ යම් යම් පරිපාලන ප‍්‍රශ්නද එහි ඇති විය. නමුත් මෙහිදි ඔවුන් පෙන්වූයේ සැබෑ කිතුනුකමය. එය අගය කළ යුතුය. ඒ සඳහා පාසල පෙළඹ වු ආදි සිසුන්ට එහි මූලික ගෞරවය හිමි විය යුතුය.

ජනමාධ්‍යයේ කිතුනු භූමිකාව

ගෙවුනු මාසය තුළ මෙරට කතෝලික ජනමාධ්‍යයේ මුල් පුටු ගණනාවක් වෙනස් විය. මේ වෙනස්වීම් සිදුවන මොහොත ජනමාධ්‍යයේ භූමිකාව ගැන ලාංකිය සමාජය තුළ උණුසුම් කතා බහක්ද පැවැතුනි. එහෙත් කිතුනු ක්ෂේත‍්‍රය තුළ එවැනි කතාබහක් නැති තරම්ය. ඒ සඳහා වුවමනාවක් ද කිසිවෙක් පෙන්නුම් නොකරයි. 

කෙසේ වෙනත් ප‍්‍රැන්සිස් සුදතුම් පියා ලෝක ජන සන්නිවේදනය දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයෙන් එවැනි කතිකාවකට මඟ පෙන්වීමක් කර තිබුණි.

දයා කරුණාවෙන් තොර සන්නිවේදනය සැබෑ සන්නිවේදනයක් නොවන බව එතුමාගේ පණිවිඩයේ යටි පෙළ අරුතයි. විශේෂයෙන් වත්මන් ලාංකේය සමාජ යථාර්ථය තුළ කිතුනු සන්නිවේදනයේ භූමිකාව කුමක් විය යුතුද යන්නට මනා යොමුවක් ඒ ප‍්‍රකාශය තුළ ඇත. නව මුල් පුටු දරන්නන්ගේ අවධානය ඒ වෙත යොමු විය යුතුය.

ඒ වනාහි සංහිදියාව පිණිස සන්නිවේදනයේ  දූත කාර්යයි. 

 ‘‘වෛර ප‍්‍රකාශ දිරිමත් කරමින් පුද්ගලයින් හා ජාතින් උගුලෙහි හසුකරගන්නා පළිගැනීමෙන් බේරීමට අපගේ වචනය හා ක‍්‍රියා හැම දෙනාටම උදව් විය යුතුය. කිතුනුවන්ගේ වචන එක්සත්කමට සංහිඳියාවට දිරි දෙන ඒවා විය යුතුය. තුවාල වූ සබඳතා සුවපත් කිරිමටද පවුලේ හා සමාජ සාමය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමටද දයා කරුණාවේ බලය යලි සොයා ගැනීමටද මම ඇරයුම් කරමි’’

බලලෝභි දේශපාලකයින්ගේ නිසරු කෝලම් වලින් වසා දමන ශී‍්‍ර ලංකාවේ ජාතික ප‍්‍රශ්නය ගැඹුරින් ඇමතිමේ දූත කාර්ය පෙරට ගැනීමට කිතුනු සන්නිවේදකයින් පෙරට ආ යුතුය.

පිලිපීන මැතිවරණය

ආසියාවේ වැඩිම කතෝලික ජන ගහනයක් සිටින රට වන පිලිපීනයේ මැතිවරණය නිමාවූයේ මැතිවරණ දිනයේදි 11 දෙනෙකුට ජීවිතය අහිමි කරමිනි. පිලිපීනයේදි දේශපාලනයට කතෝලික සභාවේ බලපෑම අති විශාලය. මැතිවරණයට පෙර ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම රදගුරුවරු සැකසු ගිවිසුමකට අත්සන් තැබුවේද, ඒ බව සනාථ කරමිනි. අපේ රටේ පාලකයින් නමින් බෞද්ධ වුවාට පැවැත්මෙන් බෞද්ධ නොවන්නා සේම පිලිපීන පාලකයින්ද නමින් කිතුනු වුවාට පැවැත්මෙන් කිතුනු නොවේ.

මෙවර මැතිවරණයේදි කැපි පෙනුනු සිදුවීමක් වුයේ කතෝලිකව මීට වසර ගණනාවකට පෙර බලයෙන් පහ කළ කුප‍්‍රකට ඒකාධිපති මාකොස්ගේ පුත‍්‍රයාට කතෝලිකයින් හා සංවිධාන රාශියක් සහය පල කිරිමයි. විශේෂයෙන් කැරිස්මැටික් කණ්ඩායම් හා ගබ්සා විරෝධි කිතුනු කණ්ඩායම් ඔහුට සහය පල කර ඇත. ගබ්සාවට විරුද්ධ නම් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නීතිය සාධාරණය රටේ සම්පත් ගබ්සා කරන අයෙකුට වුවද සහය දෙන අන්ධ බව මෙහිදි ඉස්මතුව ඇති බව පෙනීයයි.

කිතුසර දායකත්වය

වාර්ෂික මුදල එකවර දෙමින් කිතුසරට දායක වීමට අප කල ආරාධනාවට යහපත් ප‍්‍රතිචාර ලැබීම දිරියකි.

ඇත්තටම නොදකින පැති ගොඩාක් දකින්න පත්තරය උදව්වක් හැකි තරම් දෙනෙකු අතට පත් කරන්න. මවක් අපව දිරිගන්වමින් කියුවාය.

පත්තරේ ලැබුනේ නෑ. එවන්න. පියතුමෙකු අප ඇමතුවේය.

අපට ඔය විදිහට ලියන්න බෑ. සීමා තිබෙනවා. ඒත් පත්තරය අවශ්‍යයි. කිතුනු ජනමාධ්‍යවේදියෙකු ලියා එවා තිබුණේය.  

2 comments:

  1. ඉතාම සතුටුයි. අහම්බෙන් දැකල ආවෙ. මෙහෙම විකල්ප අදහස් තමයි අපට ඕන. දහසක් මල් පිපෙන්නෙ ඕන.බ්ලොග් එක ජනප්‍රිය වෙන්න කියල පතනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.

      Delete

කිතුසරට එක් කරන ඔබේ ස්වර...