Friday, March 18, 2016

දේශීය සංස්කෘතිය විනාශ වුණේ බ‍්‍රා එකකින්ද?


ස්පාඤ්ඤ සංගීතකරු එන්රික් ඉග්ලේෂියස්ගේ ප‍්‍රසංගයේදී සිදු වූ ක‍්‍රියාවන් දෙකක් නිසා ජනාධිපතිතුමන්ද, බුද්ධ ශාසන ඇමතිතුමන්ද, ගුවන් හමුදාව තුළද විවිධ ප‍්‍රතිවිරෝධතා මතුවී ඇති බව පෙනේ. අපට සංගීතය පිළිබදව ඉතා පැහැදිලි විග‍්‍රහයක් ඇති අතර, එය තීරණය වන්නේ ආනන්දය හා ප‍්‍රඥාව අතරය. එන්රික් ඉග්ලේෂියස් වැනි වේග රිද්මයේ අරුත්සුන් සංගීතකරුවන් දෙස අප බලන්නේ ඒ අස්ථානයේ සිට බැවින් අප එයට විරුද්ධ නැතත් එකද නැති බව මුලින් කිව යුතුය.

ඇත්තෙන්ම එන්රික්ගේ සංගීත ප‍්‍රසංගයේදී සිදු වූ දේ පිළිබදව ජනාධිපතිතුමන් ප‍්‍රකාශ කළේ අප රටේ සංස්කෘතිය, සභ්‍යත්වය හා සදාචාරය විනාශවන බවයි. එහෙයින් මෙවැනි දේ සංවිධානය කරනාවුන්ටත්, රු. 50,000 වැනි අධික මුදලකට ටිකට් රැගෙන ගොස් මේවා බලනවුන්ටත් මඩු වලිගයෙන් තැළිය යුතු බවයි.

ඉන් නොනැවතී බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා කියා තිබුණේ මින් පසු මෙවැනි ප‍්‍රසංග සදහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අනුමැතිය ගත යුතු බවයි. එලෙසින්ම මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ගුවන් හමුදාව තුළ එහි සාමාජිකයන්ට Facebook වලට පිවිසීම තහනම් කරනු ලැබුවේද මෙම ප‍්‍රසංගය නිසාය. ප‍්‍රසංගය තුළ සිදු වූයේ කිසියම් අයෙක් මෙම ගායකයා දෙසට තනපටක් විසිකිරීමත්, තරුණියක් වේදිකාවට ගොඩවී මෙම ගායකයාට හාදු දීමත්ය. මෙම තනපට අයිති කාටද යන්න නිශ්චිත මාධ්‍ය වාර්තා පළ නොවුනත්, හාදු දීමට සම්බන්ධ බව පැවසුණේ ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල මහතාගේ දියණිය බවයි.

කෙසේ වෙතත්, තනපටක් හෙවත් බ‍්‍රා එකක් නිසා අපගේ සංස්කෘතියට, සදාචාරයට හා සභ්‍යත්වයට ඒ තරම් බරපතල හානියක් සිදු වූයේද යන්නත්, සැබෑ ලෙසම අපගේ සංස්කෘතියට හෝ සභ්‍යත්වයට හානි වූ අවස්ථා කුමක්ද යන්නත් අප මෙහිදී සැලකිලිමත් විය යුතුව තිබේ. එහිදී මුලින්ම සංස්කෘතිය යනු කුමක්ද යන්න වටහා ගත යුතුය.

සංස් කෘත යන වදන තුළ ඇත අදහස වන්නේ සැකසූ ක‍්‍රියාව යන්නයි. පුරාණ බෞද්ධ දර්ශනයට අනුවද සංස්කාර යනු සකස් වීමට ලක්වන සියල්ලයි. පවතින තත්ත්වයෙන් වඩා දියුණු තත්ත්වයන්ට සැකසෙමින් ආ මානව සමාජය එදාට වඩා ශිෂ්ඨාචාර සම්පන්න විය යුතු බව සත්‍යයකි.  එහෙයින් ඉහත අර්ථය අනුව අතීතයේ ඉතා උදාර සංස්කෘතියක් තිබුණා යැයි කියමින් නොසිට වත්මනේ වඩා සාධනීය තැනකට මිනිසා ඒම අවශ්‍ය වුවත්, ඒ දියුණු මානසිකත්වය හෙවත් මනුස්සකමට වඩා තිරිසන් මෘගත්වයකට රට තල්ලූ වෙමින් තිබෙන බව රට තුළ සිදුවන බොහෝ ක‍්‍රියාදාමයන් විසින් පෙන්නුම් කර අවසානය.

ඇත්තටම ශ‍්‍රී ලාංකීය සංස්කෘතිය ඓතිහාසිකව පෝෂණය වූයේ බුදු දහම පදනම් කර ගනිමිනි. එහෙයින් අප මහින්දාගමනය සැළකිය යුතු වන්නේ පැවතුන තත්ත්වයට වඩා මානුෂීය, මෛත‍්‍රී සහගත, ශිෂ්ඨාචාර සම්පන්න රටකට අවැසි බොහෝ දේ  ඒ සමග රට තුළට සපැමිණි බවයි. එමෙන්ම දියුණු මිනිසත්කම සදහා අවැසි ගුණ ධර්මයන් වන ඉවසීම, සමාව දීම, සාධාරණව සැළකීම, සමානාත්මතාවය, අන්මතවලට ගරු කිරීම හා වෙනස්කම් පිළිගැනීමද ඒ අතර වෙයි.

නමුත් මෑත ඉතිහාසය තුළ සිදු වූයේ කුමක්ද? ඒ උදාර සංස්කෘතික දායාදයන් සියල්ල වළලා දමමින්, අප දරුණු ගණයේ යුද්ධයකට අවතීර්ණ වීමයි. එම යුද්ධය විසින් අපගේ උදාර වූ සංස්කෘතික උරුමයන් සුණු විසුණු කළ තරම, සභ්‍යත්වය හා සදාචාරය විනාශ කළ තරම අප ඇති පදමට අත්දුටුවෙමු. අවසානයේදී යුද්ධය අවසාන බව කියූ මොහොතේ පටන් මළකදන් මත ඉ කිරිබත් කා, කොඩි ලෙළවා, පෙළපාලි යෑම තුළ අප අපගේ මෘගත්වය මොනවට කියා පෑවෙමු. ඉතින් ඒ මොහොතේ සංස්කෘතිය, සදාචාරය තිබුණේ කොහේද? අඩුම තරමින් තනපටයකින් විනාශ වීමටවත් සංස්කෘතියක් අපට පවත්වාගත හැකි වුණිද?

අනෙක් අතට තොග සහ සිල්ලරට රට තුළ කුඩු සංස්කෘතියක් ඇති වී තිබෙන බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. මෙම කුඩු ගෙන්වනවුන් විනාශ කළේ නිර්මාණශීලී, තරුණ පරපුරක හෙට දවස පමණක් නොව අපගේ මනුස්සකමද ඔවුන් විනාශ කළහ. රට තුළ එම කුඩු සල්ලි උත්කර්ශයට නැංවූහ. එම මුදල් පල්ලි, පන්සල්වලට පමණක් නොව පාර්ලිමේන්තුවද ග‍්‍රහණයට ගැනීම තුළ අපගේ සභ්‍යත්වය, සදාචාරය තිබුණේ කොහේද?

සේයා සදෙව්මි වැනි සුන්දර මල් කැකුළු වන් දරු දැරියන් දස වද දී, අතවර කර මරා දමන විට අපගේ සභ්‍යත්වය හා සදාචාරයට සිදු වූයේ කුමක්ද? එමෙන්ම පුංචිම පුංචි ප‍්‍රශ්න වලදී ඉවසන්න බැරිව, සමාව දීමට නොහැකිව මාරාන්තික ලෙස ප‍්‍රචණ්ඩ පිළිතුරු සොයමින් අම්මා, තාත්තා, සහෝදරයා, සහෝදරිය, මිතුරා, මිතුරිය මරා දමන ඛේදවාචකයන් සුවහසක් ඉදිරියේ අපගේ සංස්කෘතිය තිබුණේ කොහේද?
               
ඉතින් මොහොතක් නැවතී සිතිය යුතුව තිබේ. තනපටකට වඩා මාරාන්තික විනාශයක් අපගේ සංස්කෘතියට, සභ්‍යත්වයට, සදාචාරයට අත් වූයේ අප රටෙන් පිටස්තර බලවේග වලින් නොවේ. අපගේම අදූරදර්ශී, අමානුෂික හා කුහකභාවයන් නිසාමය. ඉතා අවංකව අප කල්පනා කරමු නම් අපට වැරදුණ තැන් අපට සොයා ගත හැක. එවිට අපට වඩා උදාර මිනිසුන් ලෙස ගෞරවාන්විතව හා ඉවසීමෙන්එකිනෙකා තේරුම් ගැනීමෙන් වඩා දියුණු රස වින්දනයකට සමාජය ගොඩනැගිය හැක. එසේ නොවේ නම් හෙට දවසේ සිදුවීම් මීට වඩා මාරාන්තික ලෙස සංස්කෘතිය පමණක් නොව අපවද විනාශ කරනු ඇත.

2016 ජනවාරි - බරවාරි

                

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...