Thursday, March 24, 2016

මිනිත්තු එකොළහේ කතාව



‘‘එකෝමත් එක කාලෙක මරියා කියලා ගණිකාවක් හිටියා. පොඩ්ඩක් ඉන්න !!! එකෝමත් එක කාලෙක කියලා පටන් ගත්තේ බොහොම ජනප‍්‍රිය ළමා කතන්දර වලනේ, ඒ වගේම ”ගණිකාව” කියන වචනය වැඩිහිටි වචනයක්නේ. මම කොහොමද එච්චර පහසුවෙන් ඒ වගේ පරස්පරයකින් මේ කතාව පටන් ගත්නේ? ඒත් අපේ ජිවිතේ ගතවන හැම මොහොතකදිම අපේ එක පියවරක් සුරංගනා කතාවකත් අනෙක් පියවර මහා අගාධයකත් තමයි තියෙන්නේ. අපි මේ කතාව මෙහෙම ආරම්භ කරමු.

එකොමත් එක කාලෙක මරියා කියලා ගණිකාවක් හිටියා අනික් හැම ගණිකාවක් වගේම ඇයත් ඉපදුනේ අහිංසකව හා කන්‍යාවක් විදිහට.”

මිනිත්තු එකොළහේ කතාව නම් වු පාවුලෝ කොයියෝ ගේ කතාව ආරම්භ වන්නේ එහෙම. ඒ ආරම්භය විසින් මුළු කතාවකටම සංක්ෂිප්ත හැඳින්වීමක් දෙනවා විතරක් නෙමෙයි. කතුවරයාගේ දෘෂ්ඨිය, මානව හිතවාදි දැක්ම ප‍්‍රකාශයට පත් වෙත්වා.

පාවුලෝ කොයියෝ කතාව ආරම්භ කරන්නේ ඒ වගේ වුනාට පොත ආරම්භ කරන්නේ මෙන්න මේ විදියට.  

පළමු පිටුව 

අහෝ පාපයෙන් තොරව පිළිසිදි මරියනි, නුඹ වෙත පැමිණී අප වෙත යාච්ඤා කරනු මැනවි.

2002 මැයි 29 වෙනිදා මම මේ පොත වැඩි දුරටත් ඔප මට්ටම් කරන්න පැය කිහිපයකට කලින් උල්පතින් එන දිව්‍යමය පැන් බෝතල් කීපයක් පුරවා ගැනිමට ප‍්‍රංශයේ ලූර්දු හි ගොතාවලට පැමිණියා. බැසිලිකා පල්ලියේ හිටපු වයස හැත්තෑ ගණනක මහත්මයෙක් මට කිව්වා. .ඔයා දන්නවාද, ඔයා හරියටම පාවුලෝ කොයියෝ වගේමයිකියලා ඉතිං මම ඔහුට කිව්වා, ”මම පාවුලෝ කොයියෝ තමයිකියලා. ඒ පුද්ගලයා මාව වැළඳගෙන මාව එයාගේ බිරිඳටත්, මිණිබිරියටත් හඳුන්වලා දුන්නා. ඔහු ඔහුගේ ජීවිතේට මගේ පොත්වලින් ඇති වැදගත්කම ගැන කථා කළා. ඒවා මට සිහින දකින්න ඉඩ සලස්වනවායැයි කථාබහ අවසන් කරමින් ඔහු කිව්වා. 

මම මේ වචන මීට කලින් බොහෝ වතාවක් අසා තිබු ඒවා වු අතර ඒවා හැමවිටම මට මෘදු සතුටක් ගෙන ආවා. කෙසේ වෙතත් ඒ මොහොතේ මට හුඟාක් බය හිතුනා. මොකද මගේ අලූත් නවකථාව, මිනිත්තු එකළොහේ කථාව. කටුක, අපහසු ඛේදජනක මාතෘකාවක් ආශි‍්‍රත කරගන්න නිසා. මම දිය උල්පතට ගිහින් බෝතල් ටික පුරවාගෙන ආපසු ඇවිත් ඔහු ඉන්නේ කොහෙද කියලා අහගෙන ( උතුරු ප‍්‍රංශයේ, බෙල්ජියමයට ආසන්නයේ ) ඔහුගේ නම මතක තියා ගත්තා. මොරිස් ග්රැවිලින්ස්, මේ පොත පිළිගන්වන්නේ ඔබටයි. මට ඔබ වෙනුවෙනුත්, ඔබේ බිරිඳ සහ මිණිබිරිය වෙනුවෙන් මං වෙනුවෙන් කරන්න යුතුකමක් තියනවා. ඒ තමයි අනිත් අය අහන්න කැමැති දේ ගැන නෙවෙයි. මම අවධානය යොමු කරන දේවල් ගැන කථා කරන එක, සමහර පොත් අපට සිහින දකින්න ඉඩ සලසනවා. අනිත් ඒවා අපිට යථාර්ථය මුණ ගස්වනවා. ඒත් කතුවරයකුට වඩා වැදගත් වෙන්නේ කොච්චර අවංකභාවයකින් පොතක් ලියලා තියනවද කියන එකයි.                                                                                                              
බලව, ඒ නගරයේ සිටි පාපතර ස්ත‍්‍රිය; යේසුස් වහන්සේ  ව්‍යාජ භක්තිකයාගේ නිවසෙහි ආහාර පිණිස සිටින බැව් දැන ඇය විසින් සිනිඳු පෞරාණික මැටි බඳුනක බහාලූ ආලේපනයක් රැගෙන පැමිණියාය.

යේසුස් වහන්සේගේ දෙපා මුල වැඳ වැටුණු ඈ වැලපෙමින් ඇගේ කඳුළුවලින් උන් වහන්සේගේ දෙපතුල් දෝවනය කළාය. ඇගේ කේශ කලාපයෙන් උන් වහන්සේගේ දෙපතුල් පිසදැමුවාය. උන් වහන්සේගේ දෙපතුල් සිප ගත්තාය. ආලේපනය උන් වහන්සේගේ දෙපතුල් මත ගැල්වූවාය.

උන් වහන්සේ නිවසට කැඳවන ලද ව්‍යාජ භක්තිකයා එය දැක, ඔහුටම මෙසේ පවසමින් මේ පුද්ගලයා, අනාගත වක්තෘ  කෙනෙකු නම් මෙවැනි ස්ත‍්‍රියකගේ ස්පර්ෂයක් ලැබීම පාපයක් බව දකින්නට අවශ්‍යය.

යේසුස් වහන්සේ ඔහුට කථා කොට පිළිතුරු දෙමින්, සයිමොන්, මම නුඹට යමක් කියන්නෙමි, ගුරුතුමනි කියනු මැනවියි, ඔහු කී සේක.

එක්තරා ණය හිමියෙකු ණයකාරයන් දෙදෙනෙක් සිටිය. එකකු පැන්ස පන්සීයක් සහ අනෙකා පැන්ස පනහක් වශයෙනි. ඔවුන් ඒ ණය මුදල ගෙවීමට අපොහොසත් වුණු කල හෙතෙම උන් දෙදෙනාම ණයෙන් නිදහස් කළේය. මේ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩිපුර ආදරය කළාහුද ?

සයිමොන් පිළිතුරු දෙමින් ඔහුට කියන්නේ, ඔහු වැඩිපුර සමාව දුන් තැනැත්තේය. ඔබ දක්ෂ ලෙස තීන්දු කළෙහිය. උන් වහන්සේ ඔහු පැවසු සේක.

ස්තී‍්‍රය දෙසට හැරෙමින් උන්වහන්සේ  සයිමොන්ට මෙසේ පැවසු සේක. නුඹට මෙම ස්තී‍්‍රය පෙනෙනවා නොවේද ? මා නුඹේ නිවසට ඇතුළු වු කල්හි නුඹ මගේ දෙකකුල්වලට ජලය වත් නොකළෙහිය. නමුත් ඇය ඇගේ කඳුළු වලින් මගේ දෙපා දෝවනය කළාහුය. නමුත් කේශ කලාපයෙන් මාගේ දෙපා පිස දැම්මාහුය.

නුඹ මා සිප නො ගත්තෙහිය. නමුත් ඇය මා පැමිණි වේලාවේ සිට මාගේ දෙපා සිප ගැනිම නොනැවැත්වුවාහුය.

නුඹ මගේ ශීර්ෂයෙහි තෙල් ආලේප නොකළාහුය. නමුත් ඈ මගේ දෙපතුල්හි පවා ආලේපන ගැල්වුවාහුය.

එබැවින් මා නුඹට කියන්නේ බොහෝ වූ ඇගේ පාපයනට සමාව දෙනු ලබන්නෝය. බොහෝ කොට ආදරය කරනු ලබන්නේය. නුමුත් සුළුකොට සමාව ලබන තැනැත්තේ සුළුවෙන් ආදරයද ලබන්නේ වේ.

( ලූක් 7 : 37-47 )

ඉහත දෑ පෙළගැසීමෙන් පසුව කතාව ආරම්භ කිරිමෙන් කොයියෝ ස්තී‍්‍රවාදි දේවධාර්මික කියවීමකට අවශ්‍ය ගැඹුරු පදනමක් ඇති කරනවා. ඇත්තෙන්ම කි‍්‍රස්තියානිය පිළිබඳ කිතු තුමා හා මරියතුමිය පිළිබඳ අවබෝධයක් නොමැති පාඨකයෙකුට කොයියෝ මතු කරන ඇතැම් ගැඹුරු විදාරණයන් අතපසු වීම වලක්වන්න බෑ. ( ගැඹුරු කි‍්‍රස්තියානි අවලෝකනයකට මේ පොත මඟ පාදනවා කිව්වම මෙය කියවා බලන සම්ප‍්‍රදායික කිතුනුවෙකු මෙය තනිකරම ලිංගිකත්වය දක්වන කුනුහරුප පොතක් ලෙස හඳුන්වනු නොඅනුමානයි. කොයියෝ ම තම හැඳින් වීමේ තමාගේ පාඨකයින් පවා මේ පොත නිසා අවුලකට පත් විය හැකි බව කියනවා.)

කොයියෝ තම කතා නායිකාව වන ගණිකාවට දෙන නම මරියා”. මරියා කි‍්‍රස්තු ජීවිතය හා තදින් බැඳුණු ස්තී‍්‍ර චරිත කීපයකම නම. පළමු වැන්නි ජේසු තුමාගේ මව. දෙවැන්නි මරිය මග්දලේනා. මර්තා හා මරියා තෙවැන්නි.

කොයියෝ තුන්වැනි පිටුවේ දක්වන පව්කාර ස්තී‍්‍රය මෙන්ම ගල් ගැසිමට ගෙනා ආ පව්කාර ස්තී‍්‍රය වෙත ජේසු තුමන් දැක් වු ආකල්පය තුළංන් මේ කතාව ගොඩනගන බව පෙනී යනවා. ඒ වගේම පව් නොමැතිව පිළිසිඳුණු බව කි‍්‍රස්තියානින් විශ්වාස කරන මරිය මව්තුමියව මේ කතාවට සම්බන්ධ කර ගන්නවා.

ගණිකාවක් වන මරියා විසින් තමාට විටින් විට ආලෝකයක් සපයන ගැහැණියක් ගැන මේ කතාවේ දක්වනවා. ඇය කව්ද කියලා කොයියෝ සඳහන් කරන්නේ නෑ. නමුත් ස්තී‍්‍ර වර්ගයාට මග පෙන්වන ආලෝකමත් තැනැත්තියක් ලෙස මතු කරනවා.

ඇය මරිය කන්‍යාතුමිය නැතිනම් යේසුස් වහන්සේගේ මවට සමාන වුණා. ඇගේ අසලින් සිටි ඒ නොපෙනෙන ගැහැණිය සමඟ සිනාසුනා. එම ගැහැණිය ඇය සමඟ පෙරලා සිනාසි ඇයට පරිස්සම් වන ලෙසත් දේවල් ඇය සිතා සිටින තරම් පහසු නොවන බවත් කිව්වා.....

එම නොපෙනන ගැහැණිය නැවතත් පැවසුවේ දේවල් සිතන තරම් සරල ඒවා නොවන බවයි.

මරියා ඒ හඬට පිටුපානවා. ඇය ඒ අනතුරු ඇඟවීම ගණන් ගන්නේ නෑ. ඇට ඒ හඬට එකඟ නොවන්නට බොහෝ කරුණු තිබෙනවා.

කිතුනුවන් හැම දෙයක්ම දේව කැමැත්තකියා කියනවා. නමුත් මෙතනදි දේව කැමැත්ත වෙනුවට කොයියෝ මරියාගේ මුවගින් මරිය තුමියගේ සැලසුමකියා ප‍්‍රකාශ කරනවා.

හදිසියේම ඇය මහත් උනන්දුවෙන් බලා සිටි ඒත් ඇය කවදාවත් සිදු නොවේ යැයි බලාපොරොත්තු වුණු අවස්ථාව උදාවුණා. ඇය නොදන්න ජීවිතයක අභියෝග අවදානම්වලට කෙසේ මුහුණ දෙන්නද? ඇය කෙසේ නම් පසුගිය පුරුදු දැ අමතක කර දමා යන්නද ? ඇයි මරිය තුමිය මෙච්චර දුරක් සැලසුම් කළේ ?

නමුත් ගණිකාවක් බිහිවීම මරියාවන්ගේ සැලසුමක් නෙවෙයි. පවත්නා සමාජ ආර්ථීක ක‍්‍රමයේ දුෂ්ට සැලැස්මක්. ව්‍යාපාරික සැලැස්මක්. දේව කැමැත්ත ගැහැණිය භාණ්ඩයක් වීම වැලැක්වීමයි. පවතින ක‍්‍රමයේ දක්ෂතාවය තමයි තම සැලසුම දේව සැලසුමක් සේ ඒත්තු ගැන්වීම. පොතේ මුල සඳහන් කරන ජේසු තුමන් තම පාද කඳුළින් දෝවනය කරන පව්කාර ස්තී‍්‍රයට සමාව දෙන්නේ ඇය ක‍්‍රමයේ ගොදුරක් නිසා. මරියාම ටික කලකට පසු තමා ආ මාවත දේව තේරිමක්  නොවන බව වටහා ගන්නවා. මරියාගේ කි‍්‍රස්තියානිය කොයියෝ තනිකරම සම්බන්ධ කරන්නේ මරිය තුමිය එක්ක. මේ ඊට තවත් නිදසුන් කීපයක්.


‘‘ඉන් පසු එළඹි නව වන සිකුරාදා දින ඇගේ ආගමේ සිරිතට අනුව සත්ප‍්‍රසාදය මංගල්‍යයට සහභාගි වී මරිය තුමියගෙන් ඉල්ලා සිටියා ඇයව කොහෝ හෝ ඈතකට අරන් යන ලෙසස්වර්ගයේ ජිවත්වන මරිය තුමියට පොඩි දරුවන්ගේ යාච්ඥාවන්ට ඇහුම්කන් දෙන්න වේලාවක් නෑ. මේ එකම එක රාතී‍්‍රය, මුදල් නිසැකවම ආපසු හැරෙන්නට නොහැකි මාර්ගයකට ඇයව අවතීර්ණ කරාවිද මොකක්ද ? මේ සිදුවමින් තිබුනේ. මහඟු අවස්ථාවක් ද ? නැත්නම් මරිය තුමි ඇය ගැන කරන පරික්ෂාවක්ද ?

කොයියෝ තම ප‍්‍රබන්ධය තුළ අප කලින් කි ලෙස ප‍්‍රබල අයුරින් කි‍්‍රස්තියානියේ ස්තී‍්‍රවාදි කියවීමක් කරනවා. ඔහුගේ පියොද්රා ගඟ අසබඩ  සිට වැලපුණිනව කතාව තුළත් මේ ලක්ෂණය දැකිය හැකිය.

ඇත්තටම කොයියෝ ගේ මෙම නවකතාව මගින් ව්‍යාජ විශාල විෂය ක්ෂෙත‍්‍රයක් වෙත අපව රැගෙන යනවා. අපි පරිච්ඡෙදයකින් දෙකකින් කතාන්දරයක් ලෙස කියවන පව්කාර ස්තී‍්‍රය පිළිබඳ ජේසුගේ දැක්ම නුතන රූපය හඳුනා ගැනිමට අවශ්‍ය සමාජ විශ්ලේෂණාත්මක, මනෝ විශ්ලේෂණාත්මක, ජීව විශ්ලේෂණාත්මක, ලිංගික විශ්ලේෂණාත්මක පැතිකඩ කොයියෝ මරියාගේ කතා බහ, සිතුම් පැතුම් හා සටහන් තුළින් මතු කරනවා.

බොහෝ ගණිකාවන්ට කුමන විදිහක හරි ආගමික විශ්වාසටක් තිබුණා. ඉතිං ඒ අය ගරු කටයුතු පල්ලිවලට වගේම පූජාවන්වටත් සහභාගි වුණා. යාච්ඥා කළා ඒ අයගේ දෙවියන් හමුවුණා.

පසු ධනවාදයේ නරුමත්වය

පාවුලෝ කොයියෝගේ ඇතැම් කෘති මෙන්ම මාරියෝ වර්ගාස් යෝසාගේ විසේකාරි වැනි කෘති සෝවියට් රුසියානු සාහිත්‍ය කෘති සමඟ සසඳමින් ලතින් ඇමරිකානු සාහිත්‍ය අවරගනයේ කාමුක සාහිත්‍ය ප‍්‍රවණතාවයක් යැයි ඇතැම් ලාංකිය විචාරකයින්ද අදහස් ප‍්‍රකාශ කරනු දැකිය හැකිය.

මිනිත්තු එකොළහ ගැන තව දුරටත් ලිවිමට පෙර ඒ ගැන යමක් පැවැසිය යුතු යැයි සිතමු. නව ලතින් ඇමරිකානු සාහිත්‍ය පැරණි රුසියන් සාහිත්‍ය සමඟ සැසඳීම එතරම් සාධාරණ නොවේ. රුසියන් සාහිත්‍ය වැඩවසම් අගතිය ධනවාදයේ මුල් කාලය හා ළදරු සමාජවාදයේ ආශ්වාදය සමඟ බැඳුනක්. එහි ඇති විශිෂ්ඨතා අවිවාදිතයි. නමුත් ධනවාදයේ පසුකාලය තුළ ඇති වු නරුම විගලිතභාවය එහි චරිත තුළ සටහන්වන්නේ ඉතා අඩුවෙන්.

ලතින් ඇමරිකානු සාහිත්‍ය ගෝලිය වෙළඳපල ධනවාදයේ දෙවන යුගයේ නරුම පරාරෝපණය මත පදනම් වෙනවා. ඒවායේ ඇතැම් චරිත නරුමවාදි බවක් ගන්නවා. ලිංගික සා පිපාසයෙන් පෙළනවා. රුසියානු සාහිත්‍යයේ චරිත සමඟ සැසඳුවාම අපිට මේ චරිතවලට ආදරය කරන්න අමාරුයි. නමුත් යථාර්ථය එයයි. පසු ධනවාදයේ නරුමත්වය බිහිකර ඇති යථාර්ථය එහෙම නෙවෙයිද? අතිශය ආත්මාර්ථකාමියි. ප‍්‍රයෝජ්‍ය වටිනාකම පමණයි. උපයෝගිතවාදියි. සමාජය තියා පවුලවත් වැදගත් නෑ තමාම පමණයි. ලිංගිකත්වය මූලික වසඟය බවට පත්වෙලා.

කොයියෝ මිනිත්තු එකළොහේ කථාවේ ගොඩනංවන මරියාව තේරුම්ගන්න ඉහත කී අවබෝධය වැදගත්. ඉතිං දැන් අපි මිනිත්තු එකොළහේ කථාවට නැවත යොමු වෙමු.

මරියා තම නිදහස පූර්ණත්වය ආර්ථික ශක්තිය සොයාගෙන විදෙස් ගත වෙන්නට තීරණය කරනවා. ඒ ගමනට ඇයව පොළඹවන්නේ පවතින සමාජ ක‍්‍රමය නිසා ඈ තුළ ඇති වු හිස්කම. එහෙමත් නැත්නම් තමාව සොයා ගැනිමට බැරිකම.

මේ ක‍්‍රමය තුළ හැම දෙයක්ම ගිවිසුමක්... ක‍්‍රමයට සියලූ දෙනා බැඳ තබා ගන්නේ ගිවිසුම් මඟින්. ඒ ගිවිසුම් වල අවසාන හරය දේපල නැත්නම් ධනය. මරියා නියෝජිතයෙක් මඟින් ගිවිසුමකට බැඳෙනවා නමුත් ඇය දන්නේ නෑ එහි බරපතල කම.

සියල්ල ඉතා හොඳින් ඉටු වී තිබුණා. ඒත් ලබන සතියේ යන එක වෙනම කාරණාවක්. පවුලේ අයගෙන් ඒ ගැන විමසන්නට පෙර තීරණයක් ගත නොහැකි බව ඇය පැහැදිලි කළා. ස්වීස් ජාතිකයා කෝපයට පත්ව අත්සන් යෙදු ගිවිසුමේ කොපියක් ඇයට පෙන්නුවා. ඒ මොහොතේ පළමු වතාවට ඇගේ සිතට බියක් දැනුණා. ( පිටුව 30 )

දෙවියන්ට පිටුපා දෙවියන් යැදිම

මිනිස්සු සතුට මුදල් වස්තුව සොයාගෙන අවදානම් ගමන්වල යන ගමන් අනිත් අතින් ආරක්ෂාව දෙවියන්ගෙන් පතනවා. දෙවියන් කියන මාර්ගයට පිටුපාලා යමින් දේව වරප‍්‍රසාද ඉල්ලනවා. මේ ක‍්‍රමය තුළ පූර්ණත්වය ඉල්ලන හැම කෙනාම අඩු වැඩි වශයෙන් කරන්නේ ඒ දේ. මරියා විදෙස් ගත වීමට පෙර ඇගේ සාප්පුකාර පෙම්වතා ඇයට ආරක්ෂාව පතනවා.

‘‘ඔව් මට ආරංචි වුණා. ප‍්‍රංශ ප‍්‍රසංග සංවිධායකයෙක් ඔයාව පැරිසියට එක්කන් යන්න ඇවිල්ල තියෙනවා කියලා. ඔයාගේ සතුට හොයාගෙන යන ගමනට මට ඔයාට බාධා කරන්න  බැහැ. ඒත් මට ඔයා යන්න කලින් කියන්න දෙයක් තියෙනවා.

ඔහු පදක්කමක් එල්ලපු මාලයක් සාක්කුවෙන් එළියට ගත්තා.

...මේක අපේ දෙව්මව් තුමියගේ හාස්කම් තියෙන පදක්කමක්. ඇගේ පල්ලියක් ප‍්‍රංශයේ තියෙනවා. ඔයා එහේ ගිහින් ආරක්ෂාව ඉල්ලලා ඇයට යාඥා කරන්න. බලන්න මරියතුමි වටේ කැටයම් කරලා තියෙන අකුරු දිහා,

මරියා ඒක කියෙව්වා, පාපයක් නොමැතිව පිළිසිඳගත් මරිය තුමියනි ඔබ වෙත පැමිනෙණ අප වෙනුවෙන් යාච්ඥා කරනු මැනවි ආමෙන්...

මෙහිදි සාප්පුකාර පෙම්වතා මරියා යන රට ප‍්‍රංශය කියලයි කියන්නේ. ඒත් මරියා යන්නේ ස්වීස්ටර්ලන්තයට. නමුත් මරියා ඒක නිවැරදි කරන්නේ නෑ. මේ ක‍්‍රමය තුල බොහෝ දේ වැරදියට කියනවා. නමුත් නිවැරදි කරන්නේ නෑ. නිවැරදි කිරිම ක‍්‍රමයට අදාළ දෙයක් නෙවෙයි.
මේ ක‍්‍රමය තුළ පවතින්නේ නිරුවත් ගනුදෙනු පමණයි.

‘‘මට ඊයේ සල්ලි ලැබුණා. ඒ පොරොන්දු වුනු ගාණින් දහයෙන් පංගුවක් විතරයි.‘‘ (පිටුව 58)

වෙළඳ පොල ධනවාදය තුල සියලූ ශුද්ධ වු වස්තු කෙලසෙනවා. ආගම පවා ද්විතියයි. මුදල බලය ඉදිරියට මුදල ධනය ප‍්‍රාථමිකයි. ඒ නිසා ඇත්ත ආගම මුදලයි කියන එක පිළිගන්න වෙනවා.

අරාබි පෙම්වතා හැරුනු විට වෙනත් තැනක් ඇයට තිබුණේ නෑ. ඇගේ නොමියෙන ආදරය ප‍්‍රකාශ කරලා අමුතුම ආකාරයේ හිසේ බඳින ලේන්සුව පැළඳිමට සිදු වුණත් ඔහුගේ ආගමට හැරිලා ඔහුව කසාද බැඳිය යුතු යැයි ඇය කල්පනා කළා. මේ ඔක්කොටම වඩා හැමෝම දන්න විදිහට අරාබි කාරයෝ සෑහෙන්න පෝසත් ඒ ඇති.

කොහොම වුණත් ඒ අරාබිකාරයා ඒ වෙන කොටත් බොහොම දුර ගිහිල්ලා හිටියා. මරියා හදපත්ලෙන්ම මරිය තුමියට ස්තූති වන්ත වුණා. ඇගේ ආගම පවා දෙන්න සිදු නොවිම ගැන.     
     
ජීවිතයේ හැබැ ගැඹුරු වටිනාකම නොසලකා දිගින් දිගටම ගනුදෙනුමය වටිනාකම ගැන පමණක් කොතරම් ධෛර්යයකින් යුතුව පෙනී සිටින්න උත්සහ කළත් එය දියවි යන බව දැනෙන මොහොතක් එනවා. එවිට දැනෙන වේදනාව කලකිරිම අසහනය මී විතක් ගෙන වලකා ගන්න හිතුවත් එයත් යම් මොහොතක කඩා වැටෙනවා.

නමුත් යථාර්ථය ඈ ඉදිරියට නැඟී සිටියා. අරාබිකාරයා විශ්මයට පත් කරවමින් ඇය හඬන්නට වුණා.

‘‘එපා ඒක කරන්න එපා. මට තව වයින් ටිකක් වත් කරන්න. මට ටිකක් අඬන්න දෙන්න‘‘ ( පිටුව 53 )

මරියා තමාගේ ජීවිතයේ ප‍්‍රථම වතාවට මුදලට තමාව අලවිකරන්නට තීරණයක් ගන්න කරන මානසික අරගලය කොයියෝ ඉතා ප‍්‍රබලව ඉදිරිපත් කරනවා. බිලියන ගණනක් මිනිස්සු අතර එක් ගැහැණියක් ගේ අභ්‍යන්තර අරගලය ඉදිරිපත් කරනවා. වෙලඳ පොල ආර්ථිකය තුල මිනිසෙක්ගේ සිහින ඒවාට ඇති මිල අපේක්ෂාභංගත්වය අනෙක් අතින් ආදරය හෘද සාක්ෂියට වදදෙන කුමක් හෝ ඇදහිල්ලක්.

‘‘ආදරය කියන්නේ කිසිම සැකයකින් තොරවම එක මොහොතකින් මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒත් කාසියේ අනෙක් පැත්තක් තියෙනවා. ඒක ඔහු හෝ ඇය සැලසුම් කරගෙන හිටපු විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් එකක්. ඒකට කියන්නේ අපේක්ෂාභංගත්වය කියලා. ඔව් ආදරය කෙනෙක් සම්පුර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. ඒත් අපේක්ෂාභංගත්වය ඊට වඩා ඉක්මනින් ඒක සිදු කරනවා. ඇය කුමක් කළ යුතුද? වහාම බ‍්‍රසිලයට ගොස් ප‍්‍රංශ ගුරුවරයෙක් වෙලා පැරණි හාම්පුතා විවාහ කරගත යුතු ද? මේ එකම එක රාතී‍්‍රය මුදල්, නියතවම ආපසු හැරෙන්නට නොහැකි මාවතකට ඇයව අවතීර්ණ කරාවිද? මොකක්ද මේ සිදුවෙමින් තිබුණේ. මහඟු අවස්ථාවක්ද? නැත්නම් මරිය තුමිය ඇය ගැන කරන පරික්ෂාවක්ද?  

( පිටුව 53 )

මරියාගේම ආත්ම කථන, මරියාගේ දිනපොතේ ඇය තබන සටහන් තුළින් කොයියෝ ජීවිතයේ අභ්‍යන්තරය මතුපිටට ගන්නේ නිර්දය හා නිර්භය ලෙසයි. මිනිත්තු එකොළහේ කථාව තුළ ජිවිතය සොයා යාමට නම් කියවන්නා තුළද  තමා ගැන නිර්භය හා නිර්දය ආත්ම සෝදිසියක් තිබිම වඩා වැදගත්.

මරියා ගණිකාවක්  බවට පත් වෙනවා. ඒ අවස්ථාව කොයියෝ මරියාගේ සිතුවිලි තුළ ගොනු කරන්නේ ප‍්‍රබල ආකාරයට.

නැවතත් ඇය ඇයටම හඳුනාගත නොහැකි තැනත්තියක් බවට පත් වි සිටියා. ඒ වන තෙක් ඇය ඉතා පියකරු පී‍්‍රතිමත් යුවතියක් ලෙස දිවි ගෙව්වා. අමුත්තකු ඉදිරිපිට මෙවැනි දෙයක් ඇය කවදාවත් කියලා තිබුණේත් නැහැ. ඇයට හැඟුණ විදිහට ඒ ගෑනු ළමයා එක් බීමක් සඳහා ෆ්‍රෑන්ක් දහක් ජාතයන්තර මුදලකින් කියනවානම් ඩොලර් හයසියයක් වැනි මුදලක් තුළ සඳහටම මියගොස් සිටියා. ( පිටුව 54 )

මිය යාම කියන්නේ වරදකාරි හැඟිම නැති විමට. එතැන් සිට තමාව සාධාරණිකරණය කරගන්නවා. අන් අය දිහා බලලා හිත හදාගන්නවා. මම ගොදුරු වෙලා නෑ කියලා හිතනවා.

‘‘මම පොඞ්ඩක්වත් මං ගැන දුක් වෙන්නේ නෑ. මම තාමත් ඒකේ ගොදුරක් නෙමෙයි. මොකද මගේ ගෞවරය කිසිදු හානියක් නොකරගෙන, පසුම්බිය හිස්ව මට ඒ අවන් හලෙන් එළියට යන්න තිබුණා. මට පුළුවන්කම තිබුණා මගේ ඉස්සරහින් වාඩිවෙලා හිටපු මනුස්සයට සදාචාරය ගැන පාඩමක් උගන්වන්න. මට පුළුවන්කම තිබුණා. එයාට පෙන්වන්න එයාගේ ඉස්සරහින් වාඩි වෙලා ඉන්නේ ඔහු විසින් ආදරය යැදිය යුතු කුමාරිකාවක් මිසක් මිලදි ගන්න පුළුවන් ගැහැණියක් නොවන බව. මේ ඕනැම විදිහකට මට ප‍්‍රතිචාර දන්වන්න පුළුවන්කම තිබුණා. ඒත් අනෙක් බොහෝ පුද්ගලයෝ වගේ මගේ මාර්ගය තෝරා දෙන්නට මම දෛවයට ඉඩදුන්නා. 

( පිටුව 56)

ගැඹුරුම දුප්පත්කම තුළ ගණිකාවන් බවට පත්වෙන්නන් හා පවතින වෙළඳ පොළ ආර්ථිකය තුළ ගොඩනංවා තිබෙන ජීවිතය හඹා යාම නිසා ගණිකාවක් වෙන අය අතර විශාල පරතරයක් තිබෙනවා.  කොයියෝ මරියාගේ චරිතය තුල ඉස්මතු කරන්නේ දෙවැනි වර්ගය. අද අපේ සමාජයේ වැඩි වශයෙන් සිටින්නේ ඒ අයයි.

මේ නිසාම තමයි මේ කථාව පසු  ධනවාදයේ නරුමත්වය ගැඹුරු විගලිතභාවය පිළිබිඹු කරන්නක් ලෙසද හැඳින්වුයේ.


මහින්ද නාමල් විසිනි.



උපුටා ගැනීම් - මිනිත්තු එකොළහේ කතාව
පරිවර්තනය - රුවිනි තල්පාවිල

            

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...