Friday, April 29, 2016

මම සැක කරමි !



මේ දිනවල නව ව්‍යවස්ථාවක් පිළිබඳව ලොකු හා හෝවක් ඇත. ඒ පිළිබඳ මහජන අදහස් විමසමින් සිටී. සිවිල් සංවිධානවලට ද, ජාතික හා ජාතිකවාදී සංවිධානවලට ද ගජරාමෙට වැඩ ය. එහෙත් මෙය නව ව්‍යවස්ථාවක් වීමේ ඉඩකඩ බොහෝ අඩුබව කිව යුතු ය. නව ව්‍යවස්ථාව ඇත්තෙන්ම ‘‘නව” වීමට නම් පැරණි චින්තන රටාවන්ගෙන් මිදිය යුතු ය. එහෙත් ලංකාව තවත් ගතානුගතික වෙමින් පවතින බවක් පෙනේ. 47, සෝල්බරි ව්‍යවස්ථාව සාර්ථක නොවූ බැවින් 72 දී ජනරජ ව්‍යවස්ථාව ගෙන ආවේ ය. එය ද සාර්ථක නොවූ බැවින් 78 විධායක ජනාධිපති ක‍්‍රමය ගෙනාවේ ය. දැන් යළිත් එය අහෝසි කර නව ව්‍යවස්ථාවක් හදන්නට සූදානම් වෙමින් සිටී. එහෙත් අතීතකාමය තුළ අතරමංව ඇති ශ‍්‍රී ලංකා වැසියන්ට නූතන දියුණු මානව සංකල්ප අරහං ය. ඒවා එකිනෙක නම් කිරීමෙන් පමණක් සෑහෙන්නේ මෙවන් ලිපියක ඒවා සවිස්තර ලෙස ඉදිරිපත් කිරීමට ඇති ඉඩකඩ සීමා වී ඇති බැවිනි. කෙසේ වුව ද මේ පිළිබඳ විවෘත පාඨක අදහස් අපි කවදත් අගය කරමු. 

1. රාජ්‍යය අනාගමික වීම

කිසිම රාජ්‍යයක් කිසිම ආගමකට ප‍්‍රමුඛ ස්ථානයක් නොදිය යුතු ය. කිසියම් ආගමකට ප‍්‍රමුඛ ස්ථානය දෙන විට අනෙකුත් ආගම් දෙවන, තෙවන ස්ථානවලට වැටීම අනිවාර්ය ය. මෙය සිත් නොහොඳකම්, කළකිරීම් හා අවසානයේ ගැටුම්වලට හේතු වන්නේ ය. ශ‍්‍රී ලංකාව ද සාමාජිකත්වය හොබවන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘‘සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය 2 වන කොටසේ 2 වන වගන්තියේ මෙසේ සටහන් කරයි.

‘‘මෙම සම්මුතියට අයත් ඒ ඒ රාජ්‍ය පාර්ශ්වකරුවෝ මෙම සම්මුතියේ පිළිගැනෙන අයිතිවාසිකම්වලට ගරු කිරීමටත්, වර්ගය, වර්ණය, ස්ත‍්‍රී පුරුෂභාවය, භාෂාව, ආගම දේශපාලන ආදී වෙනත් කවර භේදයක් හෝ ජාතික හෝ සමාජ සම්භවය, දේපළ, උපත හෝ වෙනත් තත්ත්වයන් කෙරෙහි කිසිදු විශේෂයක් නොමැතිව සිය දේශ සීමාව ඇතුළත ද, සිය අධිකරණ බලසීමාවට යටත්ව ද, සියලූ ම පුද්ගලයන්ට උරුමවන බවට වගබලා ගැනීමටත් පොරොන්දු වෙති.” 

ශ‍්‍රී ලංකා රාජ්‍යයට මෙම සංකල්පයට එකඟ විය හැකි ද? එය ව්‍යවස්ථාවට ඇතුළත් කළ හැකි ද? සැක සහිත ය.

2. ස්වයං නිර්ණයනය

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය 1 වන වගන්තියේ ම මෙසේ පවසයි.

‘‘සියලූම ජාතීන්ට ස්වයං නිර්ණයනය පිළිබඳ අයිතිවාසිකම ඇත. එම අයිතිවාසිකම ප‍්‍රකාර ඔවුහු ස්වකීය දේශපාලන තත්ත්වය නිර්ණයනය කරති. එමෙන්ම ස්වකීය ආර්ථික, සමාජ හා සංස්කෘතික සංවර්ධනය ද නිදහසේ සලසා ගනිති.” 

මේ අනුව සිංහලයන්ට මෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනයාට ද තමන්ගේ දේශපාලන ඉරණම තීන්දු කිරීමේ අයිතිය තිබිය යුතු ය. සිංහල මහ ජාතියේ වුවමනා එපාකම්වලට යටත්ව ඔවුන් තබා ගැනීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ය. 

අලූත් ව්‍යවස්ථාවට මෙය පිළිගත හැකි ද? සැක සහිත ය.

3. බලය බෙදීම

රට නොබෙදා උපරිම වශයෙන් බලය බෙදීමේ රාජ්‍යය ව්‍යුහය සන්ධීය රාජ්‍ය ව්‍යුහය වේ. මෙය දේශපාලනික වශයෙන් ලොව පවතින්නේ කොන්ෆෙඩරේෂන් හෝ ෆෙඩරල් ව්‍යුහයන් වශයෙනි. බෙදීමේ විභවයන් ඇති රාජ්‍ය කොටස් එක්කාසු කර තබා ගන්නා දියුණු, ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රමයක් මෙකී ව්‍යුහයන් තුළ අඩංගු ය. ලෝකයේ බොහෝ දියුණු රටවල් කොන්ෆෙඩරේෂන් හා ෆෙඩරල් ව්‍යුහයන්ගෙන් යුතුවන අතර, ඒ තුළ සුවිශාල දියුණුවක් ද ලබා ඇත. එහෙත් මධ්‍යම ආණ්ඩු ව්‍යුහය තුළ ජනතාවගේ ඉඩම් හා බලතල කොල්ල කෑමට පුරුදු වී ඇති අය මේ පිළිබඳ භීතිකාවක් ජනතාව තුළ ජනිත කර ඇත. එබැවින් අලූත් ව්‍යවස්ථාවට මෙය පිළිගත හැකිද? සැක සහිත ය. 

4. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම

බෙදා වෙන්කර පාලනය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පාලන ක‍්‍රමය විය. ඔවුහු තමන් අත මධ්‍ය බලය රඳවාගෙන ජනවාර්ගික වශයෙන් ද, ප‍්‍රාදේශීය වශයෙන් ද ශ‍්‍රී ලාංකිකයන් බෙදුවෝ ය. ඔවුන්ගේ ව්‍යවස්ථාදායක සභා මීට නිදසුන් ය. බෙදුණු ජනතාවක් සූරා කෑම පහසු ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය ශ‍්‍රී ලාංකික අපට කළ දේ අපි උතුරු නැගෙනහිර දෙමළ ජනයාට කරමින් සිටිමු.

එක්ව කටයුතු කිරීමට හෝ වෙන්ව කටයුතු කිරීමට ඔවුන්ට නිදහස දිය යුතු ය. ඒ සඳහා උතුරු නැගෙනහිරට සීමාවන ජනමත විචාරණයක් පවත්වා ඒ පිළිබඳ තීරණය ඔවුන් සතු කළ යුතු ය. එහෙත් එසේ කළ හැකිවනු ඇත්ද? සැක සහිත ය.

5. වතු කම්කරු ජනතාව

වතු කම්කරු ජනයා ඉතා දීර්ඝ කාලයක සිටම මෙරට පදිංචිකරුවෝ ය. එදා සිට මේ වන තෙක් ම රටේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දී ඇත. ඒ කළ මහා සේවාව වෙනුවෙන් කෘතඥපූර්වක බවකින් යුතුව ගෞරවණීය පුරවැසියන් ලෙස සාධාරණ වැටුප්තල සහිතව, නිවාස හා ඉඩම් පිළිබ`ද අයිතිය ඇතිව හා රටේ සෑම පුරවැසියකුටම හිමිවිය යුතු සියලූ අයිතිවාසිකම් හා පහසුකම් සහිතව නිදහසේ දිවි ගෙවිය හැකි වාතාවරණය සැකසීම සඳහා අවශ්‍ය විධි විධාන විශේෂයෙන් සැකසිය යුතු ය. එහෙත් එය එසේ වේවි ද? සැක සහිත ය.

6. ව්‍යවස්ථාවේ උත්තරීතරත්වය

ව්‍යවස්ථාව රටේ මූලික නීතිය වන අතර, විටින් විට පත්වන්නා වූ ආණ්ඩුවලට ඒ ඒ අවස්ථාවලදී මහජන අනුමැතියකින් තොරව සිය බහුතර බලය යොදා එය සංශෝධනය කිරීමට ඇති ඉඩකඩ අහෝසි කළ යුතු ය. මන්ද යත් මේ වන විටත් 20 වතාවක් විතර මෙම ව්‍යවස්ථාව සංශෝධනය වී ඇති අතර, ඒ බොහෝ අවස්ථාවන් පටු ආත්මාර්ථකාමී අභිමතාර්ථයන් බව අපි දැක ඇත්තෙමු. යළිත් එය එසේ නොවේවිද? සැක සහිතය.

7. පාර්ලිමේන්තු හා ප‍්‍රාන්ත සභා නියෝජනය

පාර්ලිමේන්තුව හා අනෙකුත් ප‍්‍රාන්ත සභා නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ඒ සඳහා අධ්‍යාපනික හා ප‍්‍රායෝගික සුදුසුකම් ගණනාවක් අත්පත් කරගෙන තිබිය යුතු ය. ඒ සඳහා සුදුසුකම් පද්ධතියක් පැවතිය යුතු ය. එහෙත් එය සිදු වේවිද? සැක සහිත ය

ඉහත දේශපාලන ආයතන නියෝජනය කරන කිසිදු මන්ත‍්‍රීවරයෙකුට අදාළ ආයතනය නියෝජනය කිරීම දෙවරකට පමණක් සීමා කර විශ‍්‍රාම ගැන්විය යුතු ය. එමඟින් දේශපාලනය ගරු සේවාවක් විනා ව්‍යාපාරයක් කරගැනීමේ හැකියාව අහෝසි කළ යුතු ය. එහෙත් එය සිදු වේවිද? සැක සහිත ය.

-අජිත් හැඩ්ලි පෙරේරා

2016 මාර්තු - අප්‍රේල්

1 comment:

  1. මේ කරුණු කාරණා වලට වඩා ව්‍යවස්ථාව නව සංශෝධනය වේ නම් කෙසේද

    ReplyDelete

කිතුසරට එක් කරන ඔබේ ස්වර...