Thursday, April 7, 2016

ගින්දර පළඳනාව


ප‍්‍රකට ඇමරිකානු නවකතා හා කෙටිකතාකරුවෙකු වන නැතනියෙල් හෝත්‍රෝන් (1804-1864) විසින් 1850 දී ලියන ලද The Scarlet Letter නම් නව කතාවේ සිංහල පරිවර්තනය ගින්දර පළඳනාව වේ. ස්වර්ණකාන්ති රාජපක්ෂගේ පරිවර්තනයක් වන මෙය විදර්ශන ප‍්‍රකාශනයකි. මෙම නවකතාව හෝත්‍රෝන්ගේ නිර්මාණවලියෙහි අග‍්‍ර ඵලය වනවා පමණක් නොව ලෝක සාහිත්‍යයේ වැදගත්ම කෘතින් අතරින් එකක් ලෙස ද සම්භාවනාවට පාත‍්‍ර වේ.

1642-1649 දක්වා වු කාල සීමාවේ ඇමරිකාවේ නව එංගලන්තය නම් ප‍්‍රදේශයේ මැසචුසේට්ස් දිසාව පසුබිම් කරගෙන මෙය ලියැවී ඇත. ඒ වනාහි ඇමරිකාවේ නව ජනපදයෙකි. පියුරිටන් වාදි කිතුනුවන් ජීවත් වන ප‍්‍රදේශයකි. පියුරිටන් වනාහි ‘පරිශුද්ධ බව’ කෙරෙහි අසීමිත යොමුවක් සහිත දැඩි නීති රිති වලින් තම විශ්වාසිකයින් බැඳ තබන කිතුනු සභාවකි.

නව කතාවේ කතා නායිකාව හෙස්ටර් පි‍්‍රන්ග් නම් ස්තී‍්‍රයකි. ස්ත‍්‍රියක ප‍්‍රධාන චරිතය ලෙස ගෙන පාපය, අවනීතිය, මිනිස් හෘද සාක්ෂිය ගැන සාකච්ඡා කළ ලොව ප‍්‍රථම නව කතාව ලෙස ද මෙය විචාරකයින්ගේ පැසසුමට ලක්ව තිබේ.

හෙස්ටර් පි‍්‍රන්ග් නව එංගලන්තය ප‍්‍රදේශයට පැමිණෙන්නේ එංගලන්තයේ සිටයි. ඇය පැමිණෙන්නේ ඇයගේ සැමියා කඩිනමින් මෙහි ළඟා වන නිසාය. නමුත් ඔහු (රෝජර් චිලිංවර්ත්) එහි පැමිණෙන්නේ තම රූමත් බිරිඳ වරදේ බැඳි, දඬුවමට නියම වු පසුවය. විවාහක ස්වාමි පුරුෂයෙකු නොමැතිව හෙස්ටර් පි‍්‍රන්ග් ගැබ් ගනී. දැඩි පියුරිටන් නීති සංග‍්‍රහය අනුව ඇයට හිමිවන දඬුවම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ වීමට නියමිතය. කථාව ඇරඹෙන්නේ එතැනිනි. පළමු පරිච්ඡේදයේ මාතෘකාව ‘හිර ගෙදර දොරටුවයි. ඒ හැඳින්වීම ම ප‍්‍රබලය. බරසාර ද්වාරයක් ඉදිරිපිට සෙනඟ සේනාව රැස් කරමින් සිටියි’ කුමකටද? සිරගෙදර ද්වාරය ඇරෙන තෙක්ය. ප‍්‍රසිද්ධියේ වරදට පත්කරන්නට යන අයෙකු ජනතාව ඉදිරිපිට රැගෙන එන තෙක්ය. මේ එන සේනාව තුළ පිරිමි මෙන්ම ගැහැණුද සිටිතියි, නව කතා කරු විශේෂකොට දක්වයි. මානව වාර්ගයා ස්තී‍්‍ර පුරුෂ බේදයකින් තොරව වරදකරුවන් දෙස බලන ආකාරය මෙහි නිරුපිතය.

‘මේ ප‍්‍රදේශය නව ජනපදයකි. නිර්මාතෘවරුන් මෙය නිර්මාණය කරන ලද්දේ මිනිසත් යහගුණ සහ සන්තුෂ්ඨිය ගැබ් කරගත් පාරාදිසයක් ලෙසින්ය.’

කිතුනු ඇදහීම අනුව දෙවියන් වහන්සේ මේ ලෝකය මවන්නේද එවන් පාරාදීසයක් ලෙසයි. එහෙත් පාපය මගින් මිනිසා එම පාරාදීසය අහිමි කරගනියි. පාපයෙන් මිනිසා ගලවා ගැනීමට මිනිසා නිර්මාණය කරන ආගම හා නීතිය මිනිසාට අවනීතියක් වන ආකාරය ගැන කතා පුවත ඉතිහාසය අපට පෙන්වා දෙයි. මේ එවන් කතාවක ඇරඹුමකි.

ඒ සා උස් වු අරමුණින් ගොඩනගන ලද පුරවරයක සංඛේත තුනක් නව කතා කරු තම ප‍්‍රථම පරිච්ඡේදයේ සඳහන් කරයි. සූසාන භූමිය, සිපිරිගෙය, දෙව්මැදුර. සිපිරිගෙයි දොරටුවේ එක් පසෙක වැඩුනු රෝස පඳුරකි. එකි රෝස පඳුර ප‍්‍රබල සංඛේතයක් ලෙස කතා කරු ඉස්මතුකරයි.

‘‘රෝස වැල රතු කැට වන් සුමුදු මල්වලින් වැසි තිබුනේ සිරගෙය තුළට පිවිසෙන සිරකරුවන්වන්ටත් ඉරණම් ගමන යන අපරාධකරුවන්ටත් තම සියුමැලි සුවඳ හා සුන්දරත්වය පිරිනමා සොබාදම් මවගේ හඳ ගැඹරේ ඔවුන් උදෙසා සානුකම්පාව සහ කරුණා ගුණය පවතින බව හඟවන්නට මෙන්ය’’.

මේ රෝස පඳුරේ උපත පිළිබඳ ජන ප‍්‍රවාදයක්ද කතා කරු අපට ඉදිරිපත් කරයි.

‘‘මුවින් මුව කියවුනේ සාන්තුවරියක බවට පත් වු ඈන් හඩින්සන් මේ සිපිරිගෙයට පිවිසෙනු පිණිස දොරකඩින් දෙපා තබද්දි රෝස පැළය එතුමියගේ දෙපා යටින් මතු වු බවයි’’

කතාකරු අපට පවසන්නේ වරදකාරියක ලෙස සිරගත කල සාන්තවරියකගේ ආනුභාවය මේ රෝස මල් වලින් වහනය වන බවයි. සැබැවින්ම ඔහු මේ කතාව හඳුන්වන්නේද මේ රෝස පඳුරෙන් පාඨකයාට පුදන පුෂ්පයක් ලෙසයි. සිපිරිගෙයි දොර අරින තෙක් බලා සිටින ස්තී‍්‍ර හා පුරුෂ සෙනඟ සේනාව පිළිබඳ මේ ප‍්‍රකාශය කතාවේ තදාත්මය හකුළුවා දක්වයි.

ආගම සහ නීතිය යන ද්විත්වය එකම ආකාරයෙන් පිළිපදින්නා වු මේ මනුෂයන් අතර මෙවන් පෙනුම විරල දර්ශනයක් නොවේ. ඉතා සුළු වේවා, බරපතල වේවා, ඔවුන්ගේ සමාජයේ විනය කි‍්‍රයාමාර්ග අතිශය තදබල ආකාරයෙන් කි‍්‍රයාත්මක වන්නේය. මේ ආකාරයේ නරඹන්නන් වෙතින් කිසිම ලෙසකින් අපේක්ෂා කළ හැකි සානුකම්පිත හැඟුම් ඉතාමත්ම අල්පය, තවද, චූදිතයා ලබන දඬුවමට අමතරව මෙවන් නරඹන්නන් වෙතින් එල්ලවන නින්දා අපහාස, පරිභව අප‍්‍රමාණය. එහි කෲර බව මරණ දඬුවමට කිසිසේත් දෙවෙනි නොවේ.

ඒ කාලයට සාපෙක්ෂව ගත් කල ස්තී‍්‍රන් මෙවන් අවස්ථාවක් නැරඹීමට පැමිණීම හා අදහස් දැක්වීම විරල බව පෙනි යා හැකි වුවත් පැමිණ සිටින අයගේ කතා තුලින් ස්තී‍්‍රයක පිළිබඳ ස්තී‍්‍රන්ගේ විනිශ්චයේ ස්වභාවය කදීමට නිරූපනය කරයි.

‘‘හාමිනේලා මේ අහගන්න. මම මේ කියන්නේ මගේ හිතට හිතෙන දෙයක්. අපි දැන් තලතුනා උදවිය. ඒ වාගෙම නොවරදවා පල්ලි යනවා. සමාජයේ නම්බුකාර විදියට ඉන්නවා. ඉතින් මේ හෙස්ටර් පී‍්‍රන් වාගේ දුෂ්ට ගැහැනුන්ට දඩුවම් දීමට මැදිහත් වීම අපි මේ සමාජය වෙනුවෙන් කරන සත් ක‍්‍රියාවක්. ඉතින් මට කියන්න ඔය ඇත්තන්ගේ පොදු අදහස. දැන් මේ ස්ථානයට පැමිණිලා ඉන්න අප පස් දෙනා අනුමත කරනවාද නඩුකාර උන්නාන්සේලා දීපු තීන්දුව?’’

තවත් එකියක් කතා කළාය.

”එකිගේ පූජකතුමා ඩිමෙස්ඬේල් ස්වාමිනේ. දැන් උන්නාන්සේ ඉන්නේ බොහොම තදින් හිත රිදිලා. මේ වාගේ නින්දිත වැඩක් උන්නාන්සෙගේ දායක පිරිස අතරින් කෙනෙක් කළාය කියලා....”

ගැහැනුන් අතර ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන්නේ තරුණ, අවංක, කැපවු පූජකයෙකු වු ඩිමෙස්ඬේල් පියතුමාගේ පල්ලියේ දායකයෙකු අතින් මේ වරද සිදුවීමයි. එමගින් ඇය ඒ භක්තිමක් පූජක තුමාටත් අපහසයක් කල බවයි. තව තැනක මේ බව මෙසේ ප‍්‍රකාශ වේ.

”අර දෙවි කෙනෙක් වාගේ ඉන්න ඩිමේස්ඬේල් පියතුමාගේ මීසමේ තමයි මේ කරුණ වෙලා තියෙන්නේ’’

හෙස්ටර් ප‍්‍රින්ග් කර ඇති වරද වන්නේ පියෙකු නොමැති දරුවෙකු (අවිවාහකව සිටියදි) පිළිසිඳ ගැනීමයි. ඇයට පූජක තුමන්ලා හා විනිසුරු තුමා නියම කරන ලද්දේ සුළු දඩුවමකි. යම් කිසි කාලසීමාවක් වේදිකාවක් මත ප‍්‍රසිද්ධියේ රැඳි සිටිමත් ඉන් අනතුරුව සෑම විටම තම ඇඳුමේ පපුවට කෙලින් ගින්දර පිටවන සලකුණක් සහිතව ජීවත් වීමයි. පියුරිටන්වාදි සන්දර්භය තුළ මේ රූමත් ළඳ තම පපුවේ එකි පළඳනාව සහිතව වේදිකාවේ පෙනි සිටින විට කතෝලිකයෙකු සිටියා නම් දෙව් මවුන් ලෙස දැකිය හැකි යැයි කීමෙන් කිතුනු නිකායිකයින් අතර දැක්මේ වෙනස මෙන්ම මරිය තුමිය සමඟ වරදකාරි සැසඳීමක් ද සිදු කරයි.

මේ පියුරිටන් සෙනඟ අතර පාප්වාදියෙකු සිටියා නම් ආකර්ෂණීය ඇඳුමින් සහ රූ සිරියෙන් යුතු වු ද, දරුවකු ළෙහි ගන්වා ගෙන සිටියා වුද, මේ සොඳුරු කාන්තාව, බොහෝ කීර්තිමත් චිත‍්‍ර ශිල්පින් විසින් සිතුවමට නඟන ලද දෙව් මව් රුවක් සිහිගන්වන්නට ඉඩ තිබිණි. එනමුදු එකම වෙනස වුයේ දෙව් මව්ගේ මාතෘත්වය පාරිශුද්ධ වීමයි. ඇගේ බිළිඳා මොලොවට පහළ වුයේ මෙලෝ සතහට ගැලවීම ළඟාකර දීමටය. එනමුදු මෙතැන්හිදි සිදුව ඇත්තේ අනෙකකි. මනුෂ්‍යත්වයේ උතුම් බව කැළැල් කරමින් ගැඹුරු වු පාපයක් සිදුවෙලාය. මේ කාන්තාවගේ රූපශී‍්‍රයේ දීප්තිය ලෝකයේ අඳුර හේතු කොටගෙන වියැකි ගොසින්ය. ඇය විසින් බිහි කරන ලද බිළිඳා ඒ අඳුරේ අතරමං ව ගොසින්ය.

පව්කාරයා යනු පීඩිතයෙකි. කි‍්‍රස්තියානි දැක්ම අනුව පව්කාරයා වෙත දෙවිඳුන් කරුණාව දක්වන්නේ ඔහුගේ මෙම පීඩිතභාවය නිසාය. පීඩිතයා කෙරෙහි නැඹුරු වු දෙවියන් පසෙකලා පීඩිතයාව තලා පෙලෙන ආගම දෙවියන්ගෙන් කොතරම් ඈතද? පව්කරුවෙකු මහජනයා විසින් ප‍්‍රසිද්ධීයේ තලා පෙලා දැමීම හා පරිභවයට ලක් කරමින් සමාවක් නොමැතිව දිගටම ජීවත් වීමට සැලසීම ගල් ගසා මරාදැමීමට වඩා කුරිරු නොවේද? එය වනාහි පීඩාවේත් පීඩාවකි.


සිපිරිගෙයි දොරකඩ සිට වෙළඳපොල දක්වා සෑහෙන දුරක් නොතිබිණ. එනමුදු සිරකාරියට නම් එය ලොකු දුරකැයි හැඟෙන්නට ඇත. ඈ කෙතරම් ශක්තිමත් අයෙකු ලෙස පෙනුනද තමා වටකොට ඇති සෙනඟ සේනාව නිසා ඇගේ හදවතට දැනුණු වේදනාව අප‍්‍රමාණ බැවිනි. ඇයට හැඟුණේ තම හදවත මහමඟට වැටී මේ සියලූ දෙනා විසින් එය පාගා දමනු ලබන නියාවකි. සැබැවින්ම පීඩිතයකු වර්තමානයේ තමා විඳ දරා සිටින වධ හිංසාවක උග‍්‍ර බව අවබෝධ කරගන්නේ එම අවස්ථාවේදීම නොවේ. ඉන් මතු හදවත පෙළන හැඟුම් සමුදාය හේතුකොට ගෙනය.

ඇය වේදිකාවේ ප‍්‍රදර්ශනය වන අතර මෙතෙක් කල් පමා වු ඇගේ සැමියා පැමිණේ. ඔහු ඇයවද ඇය ඔහුවද හඳුනාගනි. එහෙත් දෙදෙනාම ඒ බව නොපවසයි. ඇගේ සැමියා රැස් වු අයගෙන් කතාව අසාගනි. ඔහුගේ නිගමනය වන්නේ එය බුද්ධිමත් තීන්දුවක් බවයි.

‘‘ඉතාම බුද්ධිමත් තීන්දුවක්’’ ආගන්තුකයා කීවේ බැරෑරුම් ලෙස හිස නැඹුරු කරමින්ය. ‘‘ඉතින් මේ ආකාරයට එයා ජීවමාන දේශනාවක් වේවි. අර පළඳනාව එයත් එක්කම වළ පල්ලට යාවි. මට තියෙන වේදනාව මේකයි. එයත් එක්ක මේ වරදට බැඳුණ අනෙක් පුද්ගලයා අද මේ වේදිකාව උඩ නැති එකයි. ඒත් කවදා හරි ඒ රහස එළි වේවි. ඒ රහස එළි වේවි. ඒ රහස එළි වේවි.

නඩුකාරයා මෙන්ම පූජක තුමන්ලාද ඇගේ දරුවාගේ පියාව අනාවරණය කරගන්න ගන්නා උත්සහය සාර්ථක නොවේ. ඇය එම රහස හෙලි නොකරයි. නව කතා කරු බයිබලයේ එන පව්කාර ස්තී‍්‍රයගේ කතාවට වඩා ප‍්‍රබල තැනකට තම කතාව රැගෙන යයි. වරදේ බැඳී සිටියදීම අල්ලාගෙන ඇවිත් ගල් ගසන්නට නියම වු බයිබල් කතාවේ ස්තී‍්‍රය සමඟ වරදේ බැඳි සිටි පිරිමියා ගැන කිසිවක් ඉස්මතු නොවේ. මෙම කතාවේදි ස්තී‍්‍රය මෙන්ම එයට සම්බන්ධවූ පුරුෂයාද ප‍්‍රබල ලෙස නිරුපණය කරයි. හෙස්ටර්ගේ සැමියා නරඹන්නන්ගෙන් විමසන්නේ කව්ද පිරිමියා යන්නයි. එයට නරඹන්නෙකු දෙන පිළිතුර වැරදි කිරිම ගැන කි‍්‍රස්තියානි හෘද සාක්ෂිය කදිමට සම්පින්ඩනය කරයි.

‘වැරදිකාරයාත් මෙහෙම ඉඳගෙන මේ කටයුත්ත දිහා බලාගෙන ඇති, නමුත් එයාට අමතක ඇති දෙවියන් වහන්සේ තමාව දකින බව’’

හෙස්ටර් පී‍්‍රන්ගේ පාපොච්චරණය අසමින් මෙහි වරදකාරයාව අනාවරණය කර ගැනීම බාර වන්නේ ජනයා දෙව් කෙනෙක් වන් යැයි සලකන තරුණ ඩිමෙස්ඬේල් පියතුමාටය. මේ වනාහි මිනිස් අභ්‍යන්තරය හා මතුපිට අතර මිනිසෙකුට මුහුණ දිය හැකි දරුණුම පරීක්ෂා කර බැලීමකි. මන්දයත් අප කතාව කියවා නිම කරන්න ආසන්න වන විට වරදකරු අන් කවරකුත් නොව මේ තරුණ පියතුමා බව දැනගන්නා නිසාය. ඔහු ඒ බව තම හෘද සාක්ෂිය තුළ දැන දැනත් පරීක්ෂණය සිදු කිරීම කොයිතරම් අපහසු අරගලයක් වන්නේද?

‘‘සහෝදරතුමා, මැයට කතා කරන්න. මේ මොහොත ඇගේ ආත්මයට ඉතා වැදගත්. ආණ්ඩුකාරතුමා විසින් මැය ඔබට බාර කරනවා. සත්‍යය ප‍්‍රකාශ කරන්නට ඇය මෙහෙයවන්න’’

ඩිමෙස්ඬේල් සහෝදරතුමා හිස නැඹුරු කරගත්තේ නිහඬ වු යාච්ඥාවක යෙදෙමින්ය. අනතුරුව එතුමා ඉදිරියට පැමිණියේය.

‘‘හෙස්ටර් පී‍්‍රන්’’ එතුමා ආමන්ත‍්‍රණය කළේ සඳළුතලයේ සිට ඉදිරියට නැඹුරු වී ඇගේ දෑස් දෙස සෘජුව ම බලමින්ය.

‘මේ උතුම් මනුෂ්‍යා කී දේ ඔබට ඇහෙනවා. මගේ රාජකාරියේ ස්වභාවය ඔබට පෙනෙනවා. මේ ක‍්‍රියාවෙන් ඔබගේ ආත්මයට සහනයක් ලැබේවි යැයි ඔබ සිතනවා නම්, දඬුවම නිසා ඔබගේ ගැලවීම සාර්ථක වේයැයි ඔබ සිතනවා නම්, ඔබත් සමඟ පාපයේ ගැලූණ, එමෙන්ම ඔබ සේම සිතින් දුක් විඳින ඔහුගේ නම ප‍්‍රකාශ කරන්න. අනුකම්පාව හෝ ස්නේහය නිසා ඔහු ආරක්ෂා කරන්න එපා. මා විශ්වාස කරන්න. හෙස්ටර්, මේ වරද සඟවාගෙන මුළු ජීවිත කාලයම සිතින් දුක් විඳිනවාට වඩා, තමන් ඉන්නා තැන ඉතාම ඉහළ ස්ථානයක් වුණත් එතනින් පහළට බැහැලා ඔබ ළගින් සිට ගන්න හැකි නම් ඒ පුද්ගලයාට වඩාත් සැනසීමක් ලැබේවි. දැන් ඔබ මේ ආකාරයෙන් නිහඬව සිටීමෙන් කරන්නේ තවත් වරදක්. ඔහු කළ වරදට අමතරව කුහකයෙකු වෙන්නටත් ඔබ දිරි දෙනවාද? දෙවියන් වහන්සේ ඔබ මෙවන් ප‍්‍රසිද්ධ අවමානයකට බඳුන් වීමට නියම කරලා තියෙනවා. ඒ අනුව ඔබගේ අභ්‍යන්තරයේ ඇති නපුරු පහත් බව හා බාහිර වශයෙන් විඳින නින්දාව පළවා හරින්න අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. තමා කල වරද පිළිගැනීමට ධෛර්යය නැති ඔහු ගැන තව දුරටත් සිතන්න එපා. දැන් ඔබේ දෙතොල් අසලින්ම මේ තියෙන්නේ ඉතාම තිත්ත වු එහෙත් පෝෂණයෙන් පිරුණ බඳුනයි’’

තරුණ පූජකවරයාගේ වෙව්ලන හඬ ඉමිහිරිය, ළගන්නාසුළුය, ගැඹුරුය, බිඳි ගොසින්ය. ඔහු සෘජුව නොපවසා හැඟ වු දෑ සියලූ හදවත් සසල කළේය. සානුකම්පාව ජනිත කළේය. හෙස්ටර් ගේ ඇකයේ සිටි බිළින්දියට පවා ඒ බව දැනුණා සේය. ඈ තම දෙනුවන් විදා පූජකතුමා දෙස බලා තම සිඟිති දෑත් එසවුයේ දුකත් සතුටක් මුසුව ගිය මිමිණිල්ලක් සමඟින්ය. ස්වාමිතුමාගේ වදන් කෙතරම් බලගතු වී යත් කාගෙත් විශ්වාසය වුයේ හෙස්ටර් පී‍්‍රන් වරදකරුගේ නම පවසාවී කියාය. එසේ නැතිනම් වරදකරු තමා සිටි උස් හෝ පහත් තැනින් ඉදිරියට ඇවිදින් ඈ අසලින් වේදිකාව මත සිටගනිවි කියාය.

හෙස්ටර් හිස සැලූවාය.

‘‘ස්තී‍්‍රය, ඔබට දෙව් පියාණන්ගේ දයාවෙන් ඔබ්බට යන්න නොහැකියි’’ විල්සන් දේවගැතිතුමා මුර ගෑවේ පෙරට වඩා දැඩි ලෙසය. ‘‘ඔබ කියන දේ ස්ථීර කරන්න. ඔය පුංචි දරුවාටත් හඬක් දීලා තියෙනවා. ඉතින් ඔය නම කීවා නම් හොඳයි. ඔබේ පශ්චාත්තාපය අනුව ඔය පපුව මත තිබෙන ගින්දර පළඳනාව ඉවත් කරගන්න අවස්ථාව තිබෙනවා.

‘‘නෑ. කවදාවත්ම කියන්නේ නෑ’’ හෙස්ටර් පිළිතුරු දුන්නේ විල්සන් ස්වාමිතුමා නොව තරුණ පූජකවරයා දෙස බලමින්ය. ‘‘අවමානය ඉතා තදින්ම සටහන් වෙලා ඉවරයි. එය ඉවත් කරන්න ඔබතුමාට බැහැ. මම මගේ වේදනාව සමඟම ඔහුගේ වේදනාවත් දරාගන්නම්.’’

‘‘කතා කරපන් ගෑනියේ’’ තවත් කටහඬක් මතු වුයේ වේදිකාව අසලින්ය. එහි ස්වරය සීතලය. දරදඩුය. ‘‘කතා කරපං, ඔය දරුවාට තාත්තා කෙනෙක් ලබලා දීපන්’’

‘‘මම කතා කරන්නේ නෑමයි’’ හෙස්ටර් කීවාය. ඈ මළමිනියක් මෙන් සුදුමැලිව ගියේ ඒ කටහඬ හඳුනාගත් නිසා පළ වු ප‍්‍රතිචාරයක් වශයෙනි. ‘‘මගේ දරුවට ස්වර්ගයේ වැඩ සිටින පියාණන් ඉන්නවා. මනුෂ්‍ය ලෝකයේ පියා කෙනෙක් අවශ්‍ය නෑ’’

‘‘ඈ කියන්නේ නෑ’’ ඩිමෙස්ඩේල් සහෝදරතුමා මතු කළේය. සඳලූතලයේ සිට තවමත් පහළට නැඹුරුව සිටි එතුමා පපුව මත අත තබාගෙන තම ආයාචනයේ ප‍්‍රතිඵල ලැබෙනතුරු මෙතෙක් වේලා බලා සිටියේය. ඔහු ආපසු හැරුණේ දිගු සුසුමක් සමඟින්ය. ‘‘මේ ගැහැනියගේ හදවතේ තිබෙන්නේ හරිම පුදුමාකාර ශක්තියක්. පරිත්‍යාගශීලීබවක්. ඈ නම් කවදාවත්ම ඒ ගැන කියන්නේ නෑ’’

ගින්දර පළඳනාව නව කතාව තුල හෙස්ටර් පී‍්‍රන් හා ඩිමෙස්ඬේල් පියතුමාගේ හෘද සාක්ෂියේ අරගලය දිග හැරෙන ආකාරය අපව ගැඹුරු භාවනාවක් වෙත රැගෙන යයි. එය ආගම හා නීතියේ සැඟවුනු නපුරත්, මිනිස් හෘද සාක්ෂියේ සොබාවයත් අපට අනාවරණය කරයි.

නතෑනියල් හෝත්‍රෝන්


මහින්ද නාමල් 

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...