Thursday, March 31, 2016

සාහිත සටහන්


ගමාච්චි මහතාගේ බැහැපත්කම

ප‍්‍රවීණ පරිවර්කයෙකු වු ලීලානන්ද ගමාච්චි මහතා තම දිවි සැරිය නිම කොට සමුගත්තේය. එතුමා ගුරුවරයෙකු ලෙස, විදුහල්පතිවරයෙකු ලෙස, අධ්‍යාපන නිලධාරියෙකු ලෙස ලැබූ අත්දැකීම්වල ඇසුර නිසාම එතුමා කළ බොහෝ පරිවර්තනවල අපට අදාළ බවක් තිබුණි.

එතුමාගේ පරිවර්ථන හා අනුවර්ථන පොත් විශාල ගණනක් විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය මඟින් ප‍්‍රකාශයට පත් විය. පරිවර්තන කාර්යය මගින් එතුමා කළ මෙහෙවර ගැන ප‍්‍රමාණවත් ඇගයුමක් සිදු නොවූ බව අපගේ අදහසයි. මනෝවිද්‍යාව හා යොවුන් සාහිත්‍ය, අධ්‍යාපනය යන ක්ෂෙත‍්‍රවලට එතුමා එකතු කළ කෘති සම්භාරය සුළු පටු නොවේ.

 ‘‘හරි පුදුම ඉස්කෝලේ’’ පමණක් වුවද ගත්විට එය අප රටට එතුමා ඉතුරු කළ මාහැඟි ධනයකි. මේ වියත් ලේඛකයා කොතරම් බැහැපත් මිනිසෙක්ද යන්න අප පියවර නව යොවුන් ව්‍යාපාරය සම්පාදනය කළ සොදුරු නව යව්වනය කෘතියට  එතුමා ලියු පෙරවදන පමණක් වුවද නිදසුන් ය.


පියවර ළමා හා යොවුන් ව්‍යාපාරය මහා මෙහෙවරකට අත්පොත් තබා ඇත. ඔවුන් සොඳුරු නව යෞවනය නමින් අගනා දෘශ්‍ය සංග‍්‍රහයක් අප රටේ සුවහසක් දරු දැරියන් අතට පත් කර ඇත.මේ සටහන ඒ උදාර ව්‍යායාමය ගැනය.

අධ්‍යාපනය ජනමාධ්‍යය ඇතුළු ව්‍යාපාරික ක්ෂේත‍්‍රය දරුවන් අලෙවි කරන ආකාරය දකින විට වැදගත් සාමාජික වගකීමක් ඇති වැඩිහිටි පරපුර බොහෝ විට කටයුතු කරන්නේ දරුවන් නැති අය මෙන් නොවේදැයි අපට සිතෙයි. මේ බලවත් ඌණතාව පිටු දැකීම සඳහා අපට කළ හැකි සීමාසහිත දායකත්වය සලකා දරුවන්ට ඔවුන්ගේ වර්ධනය ගැන ඍජු ලෙසම දැනුමක් සැපයීමට අමතරව දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෞරුෂ වර්ධනයටද දරුවන් ගැන මාපියන්ගේ දැනුම් ආකල්ප වර්ධනයටද සහාය වන ජීවන සංවර්ධන සාහිත්‍යයක් හඳුන්වා දීමට අපි උත්සාහ කළෙමු.

මෙවැනි ව්‍යාපෘතියක නිරත වී සිටින අපට දරුවන් වෙනුවෙන් සහකම්පනයෙන් යුතුව ඔවුන් දෙසට දෑත දිගු කරන සැබෑ මාපිය සෙනෙහස ඇත්තන් දකින විට ඇති වන්නේ මහත් සොම්නසෙකි. සොඳුරු නව යෞවනය නමැති නවමු ශෛලියේ ආකර්ෂණීය කෘතිය සම්පාදනය කළ පියවර ළමා හා නව යොවුන් ව්‍යාපාරයේ සහෘදයන් පිරිස දැයේ මාපියවරුන් ලෙස හඳුන්වන්නට අපි නිර්ලෝභී වෙමු.
                                                                                                        ලීලානන්ද ගමාච්චි


හෑගොඩ කිවි හැඟුම්

ලාල් හෑගොඩ නිර්මාණවේදියාගේ කිවි මඟ ගැන නිකුත් වූ පොත පිළිබද සංවාදයේදී හැඟුම්බර වූ ඔහු මින් ඉදිරියට කවි නොලියමියි පැවසීම නිසා සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ යම් කථා බහක් ඇති විය. කවියෙකු ලෙස මා ඔහුගේ ඇතැම් කවි කවියට දුර බව දකිමි. විචාරකයින්ට විචාරය කිරීමේ අයිතිය ඇති අතර එය මැදිහත්ව බාර ගැනීම ලේඛකයාගේ කාරිය විය යුතු යි.

එසේම මිනිසෙකු ගේ සංවේදී ප‍්‍රතිචාරයක එල්ලි පුවත් පත් විශේෂාංග ලිවීම දක්වා මහා කලබලයක් ඇතිකර ගැනීම ද සාහිත සමාජයට නුසුදුසු ය. හෑගොඩයන්ගේ කවි කියවන පාඨකයා හෑගොඩයන්ගේ සුසංවේදී හදවත ද කියවා ඇත්නම් එතැන ඒ මොහොතේ පැවැති තත්වය උද්ගත නොවනු ඇත.


ක්ලැරා හා ක‍්‍රිස්තුස් 

කිතුසර සාහිත්‍ය අතිරේකයේ කලාප දෙකක් පුරා ලියූ ක්ලැරා දුටු ක‍්‍රිස්තුස් හා ක්ලැරා තුල ක‍්‍රිස්තුස්  ලිපිය ගැන ප‍්‍රතිචාර ගණනාවක්ම ලැබුනා.

‘‘ක්ලැරන්ස්ගේ ගීත වලට  ආදරය කළ මට ක්ලැරන්ස්ගේ ජීවිතයට ආදරයක් ඇති වුණා.’’

එවන් ප‍්‍රතිචාරයක් දුරකථනයෙන හෝ හමු වු විට කීමෙන් ඔබ්බට ගොස් පුංචි ලිපියකින් හරි සටහන් කළ හැකි නම්ක්ලැරන්ස්ලා එදා කල සංවාදය වැනි සංවාදයක් මතු වේවි.

තරුරසීගේ ‘‘වතිකානුව තුල අතුරුදහන් වූ දෙවියන්ගේ සිනාව’’ වැනි ලිපි වඩා වඩා ලිවීම අවශ්‍යයයි. කිතුසර සාහිත්‍ය අතිරේකයේ අරමුණ වන්නේ ඒ සංවාදයයි.


ගුරු ගීතය

ගුරු ගීතයේ දුයිෂේන් හා අල්තිනායි තරමට නොවුනත් ඒ චරිත නිමැවු චිංගීස් අයිත්මාන්තව් සාහිත්‍යය ලැදි මිනිසුන් තුල ආදරණීය මතකයකි. ඒ මතකයට නැවත පණ ලැබුණේ අප හිතවත් සටන් සඟයෙකු වන ප‍්‍රවීන පරිවර්තක චූලානන්ද සමරනායක සොයුරාට අයිත්මාන්තව් ජාත්‍යාන්තර සම්මානය ලැබීම හේතුවෙනි.

දුයිෂේන්ට මෙන්ම අල්තිනායිට ද අප හදවත් හි ඉඩක් තිබෙන්නේ එම චරිත සතු වු මිනිසත් ගුණය හේතුවෙනි. චූලා සොහොයුරාට ද අප හඳවත්හි ඉඩක් තිබෙන්නේ ඔහු දිනාගත් සම්මානය නිසා නොව ඔහු සතුවන මිනිසත් ගුණය හේතුවෙනි.




නත්තල් සඟරා හා පෝරු පියා

ලංකාවේ නොමිලේ බෙදාහරින ඉපැරණිම නත්තල් සඟරා කීපයකම පියුම’ ‘සාම මිහිර’ ‘උඳුවප් මිහිරඅනුශාසක වන්නේ ගරු අර්නස්ට් පෝරුතොට පියතුමාය. ගිහියන් මෙන්ම පැවිද්දන් ද නිර්මාණ කාර්යයන්ට උනන්දු කිරිම අතින් පෝරු පියතුමාට සමකල හැක්කෙක් ලංකාව තුල නොසිටියි.

බොහෝ ක්ෂේත‍්‍රවල අපට දැකිය හැක්කේ අනෙකුන්ට තබා තම අනුප‍්‍රාප්තිකයා වන සහෝදර පූජකතුමෙකුට පවා නිසි ලෙස කාර්යභාරයන් කිරිමට අත හිත නොදෙන පූජක පැවිදිවරුය. ඒ නයින් බලන විට පෝරු පියා සුසමාදර්ශනයකි.

පුස්තකාලය

දිගු කථා කියන ඇන්ටනි ජයලත්ගේ කෙටි නාට්‍ය පිටපත් එකතුව ඈවරයි දෑවරයි. බොහෝ කලාවන් සාහිත්‍යයට එක් වන්නේ ඊට අදාල පොත් සම්ප‍්‍රාදනයෙනි. දිගු කලක් කෙටි නාට්‍ය නිර්මාණයේ යෙදුණු සම්මානනීය කෙටි නාට්‍යකරුවෙකු වන ඇන්ටනි ජයලත් තම කෙටි නාට්‍ය 12 ක පිටපත් එකතු කරමින් මෙරට නාට්‍ය සාහිත්‍යයට එක් වී සිටි. 

ඔහුගේ කෙටි නාට්‍ය සියල්ලම අපගේ සමාජයේ යථාර්ථය විදහා දක්වයි. කෙටි කථාව කෙටි චිත්‍රපටිය සේම කෙටි නාට්‍යද කෙටි නොවන දිගු ජීවිත යථාර්ථය ප‍්‍රබලව විදහා දක්වන මාධ්‍යක් ලෙස භාවිතා කළ හැකි බව ඈවරයි දෑවරයි හි සංගෘහිත කෙටි නාට්‍ය විසින් පෙන්වා දෙයි.

ඔහුගේ ප‍්‍රස්තුතයන් පුළුල් පරාසයක විහිදේ. විශේෂයෙන් ජීවිතය පිළිබඳ කිසියම් අරුතක් සේම සමාජය පිළිබඳ විවරණයක්ද ඒ තුළ ගැබ් වේ. ඔහු ඇතැමුන් අත ගැසීමට බිය වන ක්ෂෙත‍්‍රවලට යොමු වීම කැපී පෙනේ. පවතින සියලූම ආගම් හි පූජ්‍ය පූජක පක්ෂ සාතිශය බහුතරය, පවතින වෙළඳපොල ධනවාදයට තතු වී සිටින ආකාරයත්, ඔවුන්ගේ මතුපිට හා ඇතුලාන්තය අතර පවතින ප‍්‍රතිවිරෝධය ඉස්මතු කිරිමටත් ජයලත් නොබියව ඉදිරිපත් වෙයි. ඒ සඳත් ඈවරයි’ ‘සුධම්මාවතිවැකි කතා තුලින් ඔහු මතුකරන්නේ පූජ්‍ය පූජක පක්ෂ මුහුණ දී තිබෙන ඛේදයයි.

නාට්‍යයක නාටකීයභාවය පිළිබඳ පිටපත තුලින් පමණක් නිගමනය කිරිම අපහසු බව සැබැය. පිටපත් කියවීම තුලින් නරඹන්නාට පූර්ණ නාටකීය රසාස්වාදයක් ලැබිය නොහැකි වුවත්, ලැබිය හැකි දේ ද අල්ප නොවන බව ‘ඈවරයි දෑවරයි‘ පෙළ කියවීමේදි අපට දැනේ.

නව මිනිසා

කිතුදන පුබුදුවේ මුල් කාලීන ස්පී‍්‍රතුව අවුළුවා ලූ ප‍්‍රකාශනයක් වුයේ නව මිනිසාය. එය එකල ලෙටර් ප්‍රෙස් තාක්ෂණය යටතේ පළවු ඩිමයි 8/1 න් කුඩා ප‍්‍රකාශනයකි. නමුත් එය කළ මෙහෙය විශාලය. විශේෂයෙන් පුබුදු තරුණ කැළගේ ඇදහිල්ල දල්වාලන්නට නව මිනිසා මහගු අත්වැලක් විය.

නව මිනිසානවීන මුද්‍රණ තාක්ෂණය සමඟ මුසුව ටැබ්ලොයිඞ් සඟරාවක් සේ මෑතක සිට නව ගමනක් ආරම්භ කර තිබීම ඉමහත් සතුටට කාරණයකි. කලාපයකට අදාළව එක් තේමාවක් තෝරා ගනිමින් එය ප‍්‍රකාශයට පත් වේ. ඒ නිසා එය තෝරාගන්නා තේමාව පිළිබඳ පුළුල් වපසරියක් පාඨකයාට විවෘත කරයි.

අල්ෆා ඔමේගා

දේශක ලංකා අලහකෝන්ගේ සංස්කාරක ප‍්‍රකාශනයක් වන අල්ෆා හා ඔමේගා සඟරාව කිතුනු සඟරාවකි. ඉතා හොඳ මුද්‍රණ කඩදාසිවල වෛවර්ණයෙන් මුද්‍රණය වන මේ තරම් අලංකාරවත් සඟරාවක් මෙරට සම්ප‍්‍රදායික සභාවන් සතුව නැතැයි පැවසිය හැකිය.

සම්ප‍්‍රදායික පුවත් වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් විවිධ පැතිකඩ ඔස්සේ ලියැවෙන ලිපි මෙම සඟරාවේ සංගෘහිත වේ. ප‍්‍රැන්සිස් සුදතුම් පිය ආගමනයෙන් ජීව ගැන්වෙන කිතු දහමේ ප‍්‍රගතිශීලි විමුක්ති දැක්ම සංස්පර්ශ කිරිමට අල්ෆා හා ඔමේගා උත්සාහ කරන බව පෙනීයයි. අල්ෆා හා ඔමේගා හි තුන්වෙනි කලාපය තුල පූජක පැවිදි ගිහි ලේඛකයින් රැසකගේ අගනා ලිපි පොකුරක් අන්තර්ගතය.

මහින්ද නාමල්...

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...