Sunday, June 19, 2016

නාය යන්නේ කඳු නොව රටේ මිනිස්කමයි.


අන්තර්ජාලයෙන්


නායයෑමට හසුව මිනිසුන් පණ පිටින් වැළලී යන්නේ කරුමය නිසාවත්, දේව කැමැත්ත නිසාවත් නොවේ. නාය යෑමට හසුව මිනිසුන් පණපිටින් වැළලෙන්නේ නොමිනිස් පාලකයින් මෙතුවක් රට කිරිමත් ඔවුන්ගේ පැතිවලට බෙදි මිනිස්කම අහිමිකරගත් නොමිනිසුන් බවට රට වැසියන් පත්වීමත් නිසාය. ආගම් අදහන බව පෙන්වමින් ධර්මයෙන් ඈත් වු ජනතාවක් මේ රටේ සිටින නිසාය.

තේ, රබර්, විදේශ විනිමයෙන් රට ඉහළට එස වු වතු කම්කරුවන් ලැයිම් කාමරවල වහලූන් සේ දිවි ගෙවීම දැක දැකත් නොදැක සිටි නොමිනිසුන් බහුතරයක් රටේ සිටි. ඔවුන් පර දෙමළු යැයි සිතා සැලකුම් තවම තිබේ. නායයෑම් වලින් මෙතෙක් මේ රටේ වැළලූනු බහුතරය රට විදේශ විනිමයෙන් ඉහළ නැංවු වතු කම්කරු ප‍්‍රජාවය.

මෙවර බුලත්කොහු පිටිය කළුපහන වත්තේ නායයෑමට පසුව පණ පිටින් වැළලූනු අය අතර තම දරුවා තුරුලේ හංගාගෙන උන් මවකද වුවාය. ඇය එම්. සිවගාමිණි මාතාවය. ඇගේ තුරුලේ හැංගිගෙන සිටිමින් පණ පිටින් වැළලූනු දරු දෙදෙනා ජේකුමාර් විනෝද් (අවු 10)ජේකුමාර් නවින් (අවු 12)යන දරුවෝය.

ශී‍්‍ර ලංකා මාතාව මේ වතුකර දෙමළ ජනයාව තම දරුවන් සේ සලකා තුරුළු කරගත්තේ නම් ඔවුන් නාය යන බවට අනතුරු හැඟවීම් මැද්දේ මේ ලැයිම්කාමර වල ජීවත් නොවන්නෝය.

අරණායක සාමසර කන්ද තවත් ජීවිත සිය ගණනක් වළලා දැම්මේය. එතන මිය ගියවුන් සිංහලය. වතු දෙමළාට වු දේ දැන් සිංහල, දෙමළ, මුස්ලිම් බේදයකින් තොරව රට පුරා සිදුවන්නට පටන්ගෙන තිබේ. එහෙත් කොළඹ කුරුදුවත්තද තවත් බොහෝ ප‍්‍රභූන්ද ගංවතුරට හෝ නාය යෑමට හසු නොවන නිසා වැස්ස නැවතුනු විට, ගංවතුර බැස ගිය විට ජනතාවද, දේශපාලකයෝද එක ලෙස පරිසරය නොතකා තමන් ගැන හිතන ආත්මාර්ථකාමි නොමිනිස් දිවි පැවැත්මට සුපුරුදු ලෙස අනුගත වන්නෝය.

රටේ කඳු බෑවුම්ල බොහෝ ඉදිකිරිම් නිවාස ව්‍යාපාර මෙන්ම මහාමාර්ග පවා සොබාදහමේ නීති රීති මෙන්ම පවතින නීතිරීති ද නොසැලකු ඒවාය. එසේනම් පළමු වග උත්තරකරුවෝ ඒ නීති නිසි පරිදි කි‍්‍රයා කිරිම බාර නිලධාරින්ය. ඒ නිළධාරින් ඉහළින් සිටින දේශපාලකයින්ය. පොදු නීතිය නිසි ලෙස අද සිට කි‍්‍රයාත්මක කරන්නේ නම්, කොතරම් පල්ලි, පන්සල්, කෝවිල් නිවාස ව්‍යාපාර ස්ථාන තිබෙන තැන්වලින් ඉවත්කල යුතුද? ඒවා ඉවත් කිරිමට කි‍්‍රයාකළොත් ආගම, ජාතිය, පක්ෂය, ඥාතිත්වය ඉදිරියට දමා කොයිතරම් ප‍්‍රශ්න ඇති කර ගන්නේද?

විපතක් සිදු වූවහොත් ජාති ආගම් භේද නොසලකා සැනකින් පිහිටට එන ජනතාවක් අප රටේ සිටින්නේ යැයි උදාරම් බස් දෙඞීම ව්‍යාජයකි. ව්‍යසනයෙන් පසු ජීවත්වන්නේ ඒ බෙදිම් තුල නම් පළමු කී එකතුවීම අරුත්සුන්ය. පල්ලි, පන්සල් මැදි වී අනාථ වූවන්ට සරණ වීමට කි‍්‍රයා කිරිමෙන් ධාර්මික බව පෙන්නුම් කිරිම්ද එවැනිම ව්‍යාජයකි. මන්ද සියල්ලෝ රටක් ලෙස එක්ව මේ විනාශයේ ක‍්‍රමයෙන් මිදීමට කි‍්‍රයා නොකරන බැවිනි.

මැරෙන උන්ට පිං දීම ආත්මයට සැනසීම පතා පූජා පැවැත්වීම හෝ අනාථවූවන්ට ආධාර දීම මගින් අපගේ ශ්‍රේෂ්ඨ මිනිස්කම, ආගමිකභාවය පෙන්නුම් කෙරෙනවා යැයි සිතිම අන්ධකාරයකි. මරණය වැලැක්වීමට සොබාදහමට අවනත, නීතියට අවනත හා පීඩිතයා නඟා සිටුවන පැවැත්මක් වෙත නොයන තුරු අපි අමනුස්සයෝය. රට ධර්මද්වීපයක් නොව අමනුස්ස දීපයකි.

2016 මැයි - ජුනි

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...