Sunday, June 19, 2016

සමාජ ආරණ්‍ය ජීවිතයක පරමාදර්ශය යොහාන් දේවනන්ද පියතුමා





සමාජ ආරණ්‍ය ජීවිතයක  ආදර්ශයක් වූ පූජකයා යොහාන් දේවනන්ද පියතුමා

ඔහු උපත ලැබුවේ ලංකාව නිදහස ලැබීමට වසර විස්සකටත් පෙරය. එනම් 1928 මැයි 31 වෙනිදාය. ඒ කොළඹ දීය. අද ධර්මපාල මාවත නමින් හැඳින්වෙන පෙදෙසේය. පියා නීතිඥයෙකු වූ පී. එල්. කුරේ ය. ඔහු බෞද්ධයෙකුව සිට පසුව කි‍්‍රස්තියානිය වැළඳගත්තෙකි. මව බැතිමත් ඇංග්ලිකානුවෙකි නමින් ලූවිස් පීරිස්ය. 

අට දෙනෙකුගෙන් යුතු පවුලක සත්වැන්නා ලෙස ඉපදුනු ඔහුගේ බෞතිස්ම නාමය ජෙරාඩ් ලයනල් ජෝන් කුරේය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු ඔහු තුළට දේවගැතිවරයෙකු වීමේ මුල් බීජය දැමුවේ ආච්චි අම්මාය. මවගේ පියා වන ශී‍්‍රමත් ජේම්ස් පීරිස් මිය යන විට අවුරුදු දෙක තුනක් පමණ වූ යොහාන් දුකින් තැවෙන ආච්චි අම්මාගේ ඔඩොක්කුවට ගියේය. ආච්චි ළගම දැවටුනේය. ආච්චි තම සැමියාගේ වියෝවෙන් පසු මේ කුඩා මුණුබුරාට වඩාත් ආදරය කළාය. 

කෙළිලොල් යෞවනයෙකුව 

නව යොවුන් වියට එළඹීමත් සමඟම රාජකීය - සා. තෝමස් මහ කි‍්‍රකට් තරඟයට කී‍්‍රඩා කරන කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු බවට රූපාන්තරණය වූ යොහාන්ගේ ලෝකය පිරී තිබුනේ කි‍්‍රකට් පි‍්‍රය කරන තරුණ සංස්කෘතියෙනි. ‘‘මගේ දරුවෙක් පූජකයෙකු වෙනවා දකින්නට කැමැතියියනුවෙන් අම්මා පවසන විට යොහාන් ඇතුළු සොහොයුරෝ සිනාසුනෝය. මන්දයත් මේ කෙළිලොල් යෞවනයේ පූජක දිවියවන් නිවුනු දිවියක් සිහිනෙකුදු අපේක්ෂා නොකල නිසාවෙනි.

‘‘ඒ දවස්වල ඉතිං කි‍්‍රකට් වලින් පුංචි ජනපි‍්‍රයත්වයක් තිබුණා, මට කොහොමත් බිෂොප් විද්‍යාලයේ ගැහැණු ළමයි ගැන හොඳ ඇහැකුත් තිබුණා. ඒ කාලේ ඉතිං ටේස්ට් කි‍්‍රකට්නේ. මම ඔපනින් බැස්ට්මන් මට කිව්වේ තට්ටු කුරේ කියලා. බිග්මැව් එකේදී රාජකීය ජයග‍්‍රහණය සඳහා නොදැවී ලකුණු 64 ක් ගැහැව්වා.

නව යෞවනයේදී යොහාන්ට පියා ගැන එතරම් ගරුත්වයක් නොවීය නමුත් ඔහු තාරුණ්‍යයට පා නගන කල පියා තුළ වූ සුවිශේෂි ගුණාංග කීපයක් හඳුනාගැනීමත් සමඟ පියා පිළිබඳ ඔහුගේ ආකල්ප වෙනස් විය. යොහාන්ට වැඩිමහලූ එක් සොයුරෙකු මන්ද මානසික හා සිහිවිකල් ගතියකින් පසුවිය. නමුත් තාත්තා අසීමිත ලෙස ඔහුට සෙනෙහස පෑවේය. එසේම ආර්ථික ප‍්‍රශ්න ගැටළු මධ්‍යයේ වුවද පියා නිව් ලංකා ජර්නල්නම් ඉතා ප‍්‍රමුඛ පෙළේ විද්වතුන් ලිපි සපයන සඟරාවක් සංස්කරණය කළේය. පියා සතුවූ සෙනෙහෙබර බවත්, පුළුල් දෘෂ්ටියත් ඒවා තුළින් ඔහු හඳුනාගත්තේය. 

විදෙස් අධ්‍යාපනයට යොමූ වීම

‘‘එංගලන්තයේ විශ්ව විද්‍යාල අධයාපන කාලය මාස පහයි ඉන්පසු මාසයක් නිවාඩු. මම ඒ වෙනකොට විශ්වවිද්‍යාලට ආසන්න කුඩා ගමක තිබෙන පුස්තකාලයට බැඳිලා පොත් කියවන්න යොමු වෙලා හිටියේ එහි තිබී මට හමුවුනා ‘‘ධනවාදයේ වර්ධනය පිළිබඳ අධ්‍යයනයක්කියන ඉංගී‍්‍රසි පොත මම මාසයක් පුරා පැය ගණන් අරැගෙන ඒ පොත කියවුවා.
..විශ්ව විද්‍යාලයේදී විශාල වශයෙන් අධ්‍යයනට යොමු වුණා. විශේෂයෙන් විවෘත දේශනානමින්  ඕනෑම විෂය ධාරාවක අපට විවෘත වූ සංවාද දේශන තිබුණා. මා ඒවාට සහභාගි වුණා. විවිධ පුද්ගලයින් පැමිණියා. දේශන ශාලාවේ දේශන වලට වඩා විවෘත දේශනා වලින් අපි ඉගෙන ගත්තා. වාමවාදි නැඹුරුවකට අදාල දැනුම් සම්භාරයක් කියවීමෙන් හා මේ දේවලින් ලැබුණා.” 

1951 කලා උපාධිය හමාර කිරීමෙන් පසු එංගලන්තයේම ඔක්ස්පර්ඩ් අසල  කැස්ඩන් කොලජිය නම් දේව ධර්ම විද්‍යාලට ඇතුළු වී දේව දහම හැදෑරීම පටන් ගත්තේය. 

‘‘ඒක උසස් දේව ධර්ම විද්‍යාලයක් ඉගැන්වීම ඉතා හොඳයි. බොහොම සුඛෝපභෝගි ජීවීතයක් තිබුණේ. එහිදී බලපෑමක් කළ ගුරුවරයෙක් වුනේ ගරු එඩ්වඩ් කිං ඔහු හැම දේම සමබරව කළ කෙනෙක්. කී‍්‍රඩාව, ඉගැන්වීම, පූජක කටයුතු, කලාව ආදී සියල්ලම ඔහු හොඳින් කළා.

දේව ධර්මය හදාරා වසර කීපයක් එංගලන්තයේ සිටීමට හැකියාව තිබුනත් ඔහුට අවැසි වුනේ ඉක්මනින් ලංකාවට පැමිණීමටයි. එංගලන්තයට යාමට පෙර ඔහු ලංකාවේ ගම්මාන නැරඹීමට චාරිකා දෙකක් කර තිබුණි. එකක් කුරුණෑගල ප‍්‍රදේශයේ කලම්පිටියටය. අනෙක ගාල්ලේ බද්දේගමට ය. මේ තුළින් ඔහුගේ කැමැත්ත නගරයේ නොව ග‍්‍රාමිය සේවාව වෙත ඇදී ගොස් තිබුණි. දේව ධර්මය හදාරා අවසන්වූ වහාම ඔහු 1953 දී ම ලංකාවට පැමිණ, දියකොන් පදවියට පත්වී කුරුණෑගල උප දේව්ගැතිවරයා ලෙස සේවය අරඹුවේය. 

ගැමියන් අතරට

1954 දී පූජක පදවියට ඇතුලත්වී 1955 දී හේවාදිවෙල කුඩාගම සහ සියඹලන්ගමුව භාර දේවගැතිවරයා බවට පත්ව ග‍්‍රාමීය ජනතාව අතර කි‍්‍රයාකිරීමට පටන් ගත් යොහාන් පියතුමා මුලදී දැඩි දුෂ්කර තාවයකට මුහුණ දුන්නේය. ඒ භාෂා ප‍්‍රශ්නය යි. ඔහු මුළු මනින්ම වාගේ අධ්‍යාපනය හදාරා තිබුණේ ඉංගී‍්‍රසියෙනි. සිංහලයෙන් දේශන පැවැත්වීමට මුලදී ඉංගී‍්‍රසියෙන් සිතා සිංහලෙන් ඒවා ලියාගැනීමට උදව් ගන්නට සිදුවිය. 

‘‘ගම්මුන්ට සේවය කරන්න නම් ගම්මුන්ගෙන් ඉගෙන ගන්නට අවශ්‍ය බව තදින් දැනෙන්නට වුණා. ටික කළක් සභාව තුළ වැඩ කරද්දී ගමේ සභාවත් නගරේ සභාවට වඩා වෙනස් නැතිබව හැඟුණා. සභා ධූරාවලිය ගමේදිත් ඒ විදිහටම පවත්වා ගත්තා. මේ නිසා සභාවේ සාම්ප‍්‍රදායික කාර්යයන්ගෙන් තෘප්තිමත් වෙන්න බැරිවුණා. ඊට වඩා දෙයක් සිදුවිය යුතු බව හැගුණා.” 

දේවසරණාරාමය ආරම්භ කර කිතුනු හා නොකිතුනු ගොවි කම්කරු ජනතාව සමඟ වැඩ කිරීමට පුරෝගාමි වූ පියතුමා වීම සඳහා ඉහත කරුණු වලට අමතරව බලපෑ තවත් හේතු දෙකක් තිබුණු බව පෙනීයයි. 

‘‘එංගලන්තයේ ඉගෙන ගන්නා කාලයේදීම ආරාම ජීවිතය ගැන ආසාවක් ඇතිවුණා. ඒ ගැන පතපොත කියවමින් අධ්‍යයනය කළා. ඒ වගේම එකල එංගලන්තයේ තිබුණු පූජක කම්කරු ව්‍යාපාරයපිළිබඳ අත්දැකීමද මට බලපෑවා. එංගලන්තයේ කම්කරුවෝ අතිබහුතරය ඒ කාලේ වෙනකොට පල්ලි යාම අත් හැරලා තිබුණේ. ඉතිං සමහර රැඩිකල් පූජකවරු පූජක කම්කරු ව්‍යාපාරය පිහිටුවා ගෙන කම්කරුවෝ අතරට ගිහින් වැඩකලා. එහි අලූත් බවක් තිබුණා. කම්කරුවන්ට සම්බන්ධ විය යුතු බවට අදහස එංගලන්තයේදීම පිළිසිඳුනා.

ආරණ්‍ය ජීවිතයකට පෙම්බැඳ

මේ සියලූ කාරණාවල බලපෑම තුළ හේවාදිවෙල දෙව්ගැති ලෙස වැඩ කරන අතර තුරම 1957 දී දේවසරණාරාමය  පිහිටුවීමට එතුමා කි‍්‍රයා කළේය. ඒ සමඟම ලංකා ගොවි සම්මේලනය සමඟ සම්බන්ධ වී වැඩ කරන්නට අවස්ථාව ලැබීමත් සමඟ සාම්ප‍්‍රදායික දේවගැති ජීවිතය වෙනසකට භාජනය වෙයි. 1959 - 60 අතර කාලය තුළ ආරාම ජීවිතය ගැන අත්දැකීමක් ලබාගැනීමට ඉන්දියාවේ වන්දනා මධ්‍යස්ථානයකට යෑමට අවස්ථාවක් එතුමාට උදා විය. 

හින්දු ආගමෙන් කි‍්‍රස්තියානියට පැමිණ ආශ‍්‍රමයක් පවත්වාගත් කෙනෙකු ළඟ එහිදී අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා. ප‍්‍රංශ, ඉතාලි රෝමානු කතෝලිකයන් දෙදෙනෙක් ද එහි හිටියා.

‘‘ආරාම ජීවිතය ගත්තොත් එහිදී මට බලපෑව ප‍්‍රධාන කාර්යය යාච්ඤාව, ‘සමාජ වැඩ හුදු අභ්‍යාස පමණයි‘කියන මතවාදය  වැනි මතවාදයක් එකල සභාව තුළ තිබුණා.“

1971  අත්දැකීම

‘‘දේවසරණාරාමයට විවිධ පුද්ගලයන් පැමිණියා. ගොවියන්, විරැකියා තරුණයින්. එහි කුඩා කණ්ඩායම් සංවාද ඇරඹුණා. විශේෂයෙන් ගොවි සම්මේලනය සමඟ ගනුදෙනු නිසා දේවසරණාරාමය සමාජ කි‍්‍රයාධරයින් යන එන තැනක් වුණා. ඔවුන් සමඟ විවෘත ස්වාධින ගනුදෙනු තිබුණේ, ඔය අතර අපේ ආරාමයට ආගිය සමහර තරුණයින්, කි‍්‍රයාධරයින් 1971 කැරැල්ල සමඟ හිරගත කෙරෙනවා. පොදුවේ 1971 දී සිරගත වූවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ වීමත් සමඟ එයට දායකවීමට ඒ තත්වය බලපෑවා. 1971 අත්දැකීම් අලලා ප‍්‍රචණ්ඩ ලංකානමින් පොතක් ලියනවා. එය යම් කිසි විදිහකින් එකල තත්වය සංවාදයට ලක් කරනවා.

1971 දී පසුබෑ සමාජ සංවිධාන කි‍්‍රයාකාරිත්වය නැවත ආරම්භ වෙනවා. 1976 දී ගොවි සම්මේලනය නැවත පටන් ගන්නවා හිරෙන් නිදහස් වූ පිරිස් වගේම තවත් අය ඊට සම්බන්ධ වෙනවා. එහි පළමු රැස්වීමේදී මමත් කථා කළා මම කථා කළේ බුදු දහම ඇසුරින්. අනිත් අය මාක්ස්වාදය හා සමාජ විග‍්‍රහය ඇසුරින්ගොවි ජනතාවට වඩාත් සමීපවුනේ සේවක යොහාන්ගේ කතාව. 

එදාසිට මම බොහෝවිට ඔවුන් හා කතා කළේ බුදුදහම ඇසුරින්. ඔවුන් කිතු දහම ගැන යමක් මාගෙන් විමසුවොත් පමණයි මම කිතු දහම ගැන කථා කළේ.” 

1982 දී දේවසරණාරාමය දේවසරණ සංවර්ධන කේන්ද්‍රය බවට පත් වෙනවා. ඒ වෙනවිට සංවර්ධනය හා සාධාරණත්වය පිළිබඳ අරගලය තුළ සාමයික සංවාදය සිදු කරන ස්ථානයක් බවට දේවසරණාරාමය පුළුල් වී තිබීම නිසා එය ආගමික ආයතනයක් නොව ස්වාධීන ආයතනයක් ලෙස සංවිධානය කිරීම අවශ්‍යව පැවතුනා. 1984 දී අපි දේවසරණ සංවර්ධන කේන්ද්‍රයේ ව්‍යවස්ථාව සකස් කළා

රාජ්‍ය නොවන සංවිධානයක ස්වරූපය ගෙන

‘‘ඇත්තටම මුලදී මෙය නඩත්තු වුනේ ඉඩමේ පොල් විකුණා ලද ආදායමින්. පසුව අපි සමූහ ගොවිපලක්, කුකුළු ගොවිපලක් එහෙම ඇති කළා. විදේශ ආධාර ලැබීම ආරම්භ වුණේ ප‍්‍රචණ්ඩ ලංකාපොත මුල් කරගෙන. ඒ පොත කියවූ හැරි ඩැනියල් නැමැති ලෝක කි‍්‍රස්තියානි කවුන්සිලයේ අයෙක් මගෙන් විමසුවා තරුණ කි‍්‍රස්තියානි සංගමයේ ආධාර ලබා ගන්න කැමතිද කියලා. ඒ ගැන අපේ සංවිධානය කතා කළා අපි කිව්වා අපේ ප‍්‍රතිපත්ති පිළිගන්නවා නම් අපි ආධාර ගන්න කැමතියි කියලා. ඔවුන් අපේ ප‍්‍රතිපත්ති පිළිගත්තා. අපි ආධාර ගත්තා. පසුව වෙනත් සංවිධාන වලිනුත් අපි ආධාර ගත්තා.

ගොවි සංවිධාන පවත්වා ගන්නත් එකල මුදල් තිබුනේ නෑ. මම ඔවුනට කිව්වා මුදල් ටිකක් ඉල්ලන්න මම ආධාර කරන තැනක් සොයා දෙන්නම් කියලා. නමුත් ඔවුන් කියා සිටියා අපි ආධාර ඉල්ලන්නේ නෑ. හැබැයි ඔබතුමාට ලැබැණු දෙයක් අපිට දෙනවා නම් අපි ගන්නවා කියලා. අපිට හැකි ලෙස ගොවි සංවිධාන වලට මුදල් උපකාර කළා. හැම විටම අපි ආධාර දුන් අයට අවධාරණය කළා, එගෝල්ලන්ගේ මුදල් මහා ලොකුදෙයක් නෙවෙයි. වටින්නේ ගොවියන්ගේ කැපවීම හා දර්ශනය බව

අපි නිතරම උත්සහ කළේ දේවසරණාරාමය හෝ දේවසරණ කේන්ද්‍රය පුළුල් කිරීමට නෙවෙයි ජනතා සංවිධාන පුළුල් කිරීමට උදව් කිරීමටයි.ජනතා නායකත්වය හා කාන්තා නායකත්වය මතු කර ගැනීමට දේව සරණ කේන්ද්‍රය මූලිකත්වයක් ගත්තා.

මට ආරාධනා රාශියක් ලැබුනා විදෙස් ගතවීමට. මම තුළ වගේම අපේ කණ්ඩායමේ සහජ ඥානය ඇති ඇතැමුන් ඒවා ප‍්‍රතික්ෂේප කළා. 1979 දී ලෝක කි‍්‍රස්තියානි සමුළුවේ ආසියානු නියෝජිතයා හැටියාට කියුබාවට යාමට අවස්ථාව ලැබුනාම සියලූ දෙනා ඊට සහභාගිවන ලෙස ඉල්ලා සිටියා. කියුබානූ ගමනේදී කියුබානූ කාන්තා ව්‍යාපාරයේ ප‍්‍රබල බව මට තදින් බලපෑවා. කාන්තා නායකත්වය ප‍්‍රවර්ධනයට දායක  විය යුතු බවට අදහස ඉන් ලබුණා.” 

1985 දී දේවසරණ කෙන්ද්‍රයේ නායකත්වයෙන් ඉවත් වී ජනතා නායකත්වයට ඉඩදීමට සේවක යොහාන් තීරණය කළේය. ඉන්පසු ඔහුගේ පෞද්ගලික ආශාව වුනේ වව්නියා ප‍්‍රදේශයට ගොස් ද්‍රවිඩ ජනතාව සමඟ සංවාදයකට මුල පිරීම වූ නමුත් රදගුරුවරයා ඔහුව පිළිමතලාව දේව ධර්ම ශාස්ත‍්‍රාලයේ ගිහි පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ලෙස සේවය කිරීමට යොමු කළේය. එහිදී එතුමා සමාජ කි‍්‍රයාධරයන් ලෙස කි‍්‍රයාකිරීමට ගිහියන් පුහුණු කිරීමට කටයුතු කළේය.

1988 - 1989 අත්දැකීම

දේවසරණ කේන්ද්‍රය දැඩි විවේචනයකට ලක් වූ කාලයක් වන්නේ 1988 - 1989 භීෂණ සමය. මෙරට තරුණ ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා රාජ්‍යයට ඔත්තු සැපයූ බවටත්, ‘ප‍්‍රාවැනි ඝාතන කල්ලි සමඟ සම්බන්ධ වී කි‍්‍රයා කළ බවටත් චෝදනා එල්ල විය. ඒ ගැන යොහොන් පියතුමා පවසන්නේ මෙවැන්නකි. 

‘‘භීෂණ යුගයේ දෙපැත්තෙන්ම අපිව සැක කළා. රජය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත්. සමහර ගොවි නායකයින් දෙපැත්තෙන්ම මරා දැමුණා. අපි ඊට විරුද්ධ වුණා. සංවිධානය තුළ සාකච්ඡුාව උණුසුම් වූණා ජ. වි. පෙනුත් අපිට තර්ජන තිබුණා. සංවිධානයේ ටික දෙනෙක් ජ. වි. පෙ. මර්දනයට රජයට ආධාර කළ යුතු බව පැවසුවා. වැඩි දෙනෙක් ඊට විරුද්ධ වූණා. ජ. වි. පෙ. හොඳ පැත්තක් තිබෙනවා. අපි එය මතු කළ යුතුයි කියන අදහසයි ඔවුන් දරුවේ. ජීවිතයට තිබූ තර්ජන නිසා අපි තුවක්කුවක් හා පිස්තෝලයක් අපේ මුදලින් ගත්තා. රජයෙන් නෙවෙයි. රජය අපි ජ. වි. පෙ. කියලා හිතුවා. ආයතනය වටකරලා පරීක්ෂා කළා. ඒ වෙනකොට දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරයේ පති‍්‍රකාවල අපිට විරුද්ධව ලියා තිබෙන බවත්, ඔවුන්ගේ මරණ ලැයිස්තුවල අපේ නම් තිබෙන බවත් රජය දැනගත්තා. ඒ නිසා ආයුධ භාවිතයට අපිට ඉඩ දුන්නා. දවසක් තරුණ පිරිසක් අපේ ආයතනයට පහර දුන්නා. වෙඩි තැබුවා. අපිත් වෙඩි තැබුවා.” 

1990 දී මාලති සමඟ විවාහ වූ සේවක යොහාන් දේවානන් ද 2002 දී ලෝක සහයෝගිතා සංවිධානයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භකයෙකු ලෙස එහි කි‍්‍රයාකාරිත්වයට උරදීම ආරම්භ කළේය. 2002 දී මෙත් නිවස ද, 2003 දී සමාදාන ප‍්‍රදක්ෂිණා  පිහිටුවීමට ද ඔහු පුරෝගාමි විය. මුලදී සභාව ඔහුගේ යැපීම සඳහා දීමනාව ගෙවීම ප‍්‍රතික්ෂේප කළ අතර පසුව එය ගෙවීමට කටයුතු කරන ලදී. දෙවියන් තම කාර්යය සඳහා දායක වන සේවකයින්ගේ මූලික අවශ්‍යතා ඉටු කරනවායන විශ්වාස තුළ ඔහු නොසැලී කි‍්‍රයා කරයි. 

යොහාන් දේවානන්ද පියතුමා සමාජ කි‍්‍රයාධරයෙකු ලෙස කි‍්‍රයාකරන අතරම විමුක්ති දේව ධර්මයට අදාලව අන්තර් ආගමික හරයන්ගෙන් යුතු ග‍්‍රන්ථ කීපයක්ද ලියා තිබේ. අවසානයටම ලියූ ග‍්‍රන්ථය වන පුංචි අකුරේ දෙව් දහමපොතේ ඉතා විවාද සම්පන්න ධර්ම කරුණු ගැන නිර්භයව අදහස් පළ කර තිබේ. සාම්ප‍්‍රදායික වාමවාදී කොටස් සමඟ එතුමා පැවැත්වූ මුල් සබඳතා එතුමාගේ සමාජයීය කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් කළා මෙන්ම එහි ඇතැම් සීමාවන්ද ලකුණු කර තිබෙන බව පෙනීයයි. ජනවාර්ගික ප‍්‍රශ්නයේදී යොහාන් පියතුමා නිවැරදි අස්ථානයක පිහිටා සිටින බව පෙනී යන්නේ ඔහු රාජ්‍ය ත‍්‍රස්තවාදය හා ඊට ප‍්‍රතිවිරුද්ධව නැගුනු ත‍්‍රස්තවාදය එකම මිම්මෙන් බැහැර නොකර මුල් හේතුව රාජ්‍ය ත‍්‍රස්තවාදය බව ප‍්‍රකාශ කිරීමෙනි. කි‍්‍රස්තියානි දෘෂ්ටිකෝණයෙන් යොහාන් පියතුමාගේ ඇතැම් මත දැක්වීම් කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකි වුවද ඔහු විසින් කි‍්‍රස්තියානියේ විමුක්ති මාර්ගය සොයා යාමට කළ උත්සහය කැප කිරීම අගය කිරීම කිසිවෙකුට නිශ්ප‍්‍රභ කළ නොහැකි වනු ඇත.

2016 මැයි - ජූනි

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...