Showing posts with label ගිහි පූජක. Show all posts
Showing posts with label ගිහි පූජක. Show all posts

Sunday, June 19, 2016

සමාජ ආරණ්‍ය ජීවිතයක පරමාදර්ශය යොහාන් දේවනන්ද පියතුමා





සමාජ ආරණ්‍ය ජීවිතයක  ආදර්ශයක් වූ පූජකයා යොහාන් දේවනන්ද පියතුමා

ඔහු උපත ලැබුවේ ලංකාව නිදහස ලැබීමට වසර විස්සකටත් පෙරය. එනම් 1928 මැයි 31 වෙනිදාය. ඒ කොළඹ දීය. අද ධර්මපාල මාවත නමින් හැඳින්වෙන පෙදෙසේය. පියා නීතිඥයෙකු වූ පී. එල්. කුරේ ය. ඔහු බෞද්ධයෙකුව සිට පසුව කි‍්‍රස්තියානිය වැළඳගත්තෙකි. මව බැතිමත් ඇංග්ලිකානුවෙකි නමින් ලූවිස් පීරිස්ය. 

අට දෙනෙකුගෙන් යුතු පවුලක සත්වැන්නා ලෙස ඉපදුනු ඔහුගේ බෞතිස්ම නාමය ජෙරාඩ් ලයනල් ජෝන් කුරේය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු ඔහු තුළට දේවගැතිවරයෙකු වීමේ මුල් බීජය දැමුවේ ආච්චි අම්මාය. මවගේ පියා වන ශී‍්‍රමත් ජේම්ස් පීරිස් මිය යන විට අවුරුදු දෙක තුනක් පමණ වූ යොහාන් දුකින් තැවෙන ආච්චි අම්මාගේ ඔඩොක්කුවට ගියේය. ආච්චි ළගම දැවටුනේය. ආච්චි තම සැමියාගේ වියෝවෙන් පසු මේ කුඩා මුණුබුරාට වඩාත් ආදරය කළාය. 

කෙළිලොල් යෞවනයෙකුව 

නව යොවුන් වියට එළඹීමත් සමඟම රාජකීය - සා. තෝමස් මහ කි‍්‍රකට් තරඟයට කී‍්‍රඩා කරන කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු බවට රූපාන්තරණය වූ යොහාන්ගේ ලෝකය පිරී තිබුනේ කි‍්‍රකට් පි‍්‍රය කරන තරුණ සංස්කෘතියෙනි. ‘‘මගේ දරුවෙක් පූජකයෙකු වෙනවා දකින්නට කැමැතියියනුවෙන් අම්මා පවසන විට යොහාන් ඇතුළු සොහොයුරෝ සිනාසුනෝය. මන්දයත් මේ කෙළිලොල් යෞවනයේ පූජක දිවියවන් නිවුනු දිවියක් සිහිනෙකුදු අපේක්ෂා නොකල නිසාවෙනි.

‘‘ඒ දවස්වල ඉතිං කි‍්‍රකට් වලින් පුංචි ජනපි‍්‍රයත්වයක් තිබුණා, මට කොහොමත් බිෂොප් විද්‍යාලයේ ගැහැණු ළමයි ගැන හොඳ ඇහැකුත් තිබුණා. ඒ කාලේ ඉතිං ටේස්ට් කි‍්‍රකට්නේ. මම ඔපනින් බැස්ට්මන් මට කිව්වේ තට්ටු කුරේ කියලා. බිග්මැව් එකේදී රාජකීය ජයග‍්‍රහණය සඳහා නොදැවී ලකුණු 64 ක් ගැහැව්වා.

නව යෞවනයේදී යොහාන්ට පියා ගැන එතරම් ගරුත්වයක් නොවීය නමුත් ඔහු තාරුණ්‍යයට පා නගන කල පියා තුළ වූ සුවිශේෂි ගුණාංග කීපයක් හඳුනාගැනීමත් සමඟ පියා පිළිබඳ ඔහුගේ ආකල්ප වෙනස් විය. යොහාන්ට වැඩිමහලූ එක් සොයුරෙකු මන්ද මානසික හා සිහිවිකල් ගතියකින් පසුවිය. නමුත් තාත්තා අසීමිත ලෙස ඔහුට සෙනෙහස පෑවේය. එසේම ආර්ථික ප‍්‍රශ්න ගැටළු මධ්‍යයේ වුවද පියා නිව් ලංකා ජර්නල්නම් ඉතා ප‍්‍රමුඛ පෙළේ විද්වතුන් ලිපි සපයන සඟරාවක් සංස්කරණය කළේය. පියා සතුවූ සෙනෙහෙබර බවත්, පුළුල් දෘෂ්ටියත් ඒවා තුළින් ඔහු හඳුනාගත්තේය. 

විදෙස් අධ්‍යාපනයට යොමූ වීම

‘‘එංගලන්තයේ විශ්ව විද්‍යාල අධයාපන කාලය මාස පහයි ඉන්පසු මාසයක් නිවාඩු. මම ඒ වෙනකොට විශ්වවිද්‍යාලට ආසන්න කුඩා ගමක තිබෙන පුස්තකාලයට බැඳිලා පොත් කියවන්න යොමු වෙලා හිටියේ එහි තිබී මට හමුවුනා ‘‘ධනවාදයේ වර්ධනය පිළිබඳ අධ්‍යයනයක්කියන ඉංගී‍්‍රසි පොත මම මාසයක් පුරා පැය ගණන් අරැගෙන ඒ පොත කියවුවා.
..විශ්ව විද්‍යාලයේදී විශාල වශයෙන් අධ්‍යයනට යොමු වුණා. විශේෂයෙන් විවෘත දේශනානමින්  ඕනෑම විෂය ධාරාවක අපට විවෘත වූ සංවාද දේශන තිබුණා. මා ඒවාට සහභාගි වුණා. විවිධ පුද්ගලයින් පැමිණියා. දේශන ශාලාවේ දේශන වලට වඩා විවෘත දේශනා වලින් අපි ඉගෙන ගත්තා. වාමවාදි නැඹුරුවකට අදාල දැනුම් සම්භාරයක් කියවීමෙන් හා මේ දේවලින් ලැබුණා.” 

1951 කලා උපාධිය හමාර කිරීමෙන් පසු එංගලන්තයේම ඔක්ස්පර්ඩ් අසල  කැස්ඩන් කොලජිය නම් දේව ධර්ම විද්‍යාලට ඇතුළු වී දේව දහම හැදෑරීම පටන් ගත්තේය. 

‘‘ඒක උසස් දේව ධර්ම විද්‍යාලයක් ඉගැන්වීම ඉතා හොඳයි. බොහොම සුඛෝපභෝගි ජීවීතයක් තිබුණේ. එහිදී බලපෑමක් කළ ගුරුවරයෙක් වුනේ ගරු එඩ්වඩ් කිං ඔහු හැම දේම සමබරව කළ කෙනෙක්. කී‍්‍රඩාව, ඉගැන්වීම, පූජක කටයුතු, කලාව ආදී සියල්ලම ඔහු හොඳින් කළා.

දේව ධර්මය හදාරා වසර කීපයක් එංගලන්තයේ සිටීමට හැකියාව තිබුනත් ඔහුට අවැසි වුනේ ඉක්මනින් ලංකාවට පැමිණීමටයි. එංගලන්තයට යාමට පෙර ඔහු ලංකාවේ ගම්මාන නැරඹීමට චාරිකා දෙකක් කර තිබුණි. එකක් කුරුණෑගල ප‍්‍රදේශයේ කලම්පිටියටය. අනෙක ගාල්ලේ බද්දේගමට ය. මේ තුළින් ඔහුගේ කැමැත්ත නගරයේ නොව ග‍්‍රාමිය සේවාව වෙත ඇදී ගොස් තිබුණි. දේව ධර්මය හදාරා අවසන්වූ වහාම ඔහු 1953 දී ම ලංකාවට පැමිණ, දියකොන් පදවියට පත්වී කුරුණෑගල උප දේව්ගැතිවරයා ලෙස සේවය අරඹුවේය. 

ගැමියන් අතරට

1954 දී පූජක පදවියට ඇතුලත්වී 1955 දී හේවාදිවෙල කුඩාගම සහ සියඹලන්ගමුව භාර දේවගැතිවරයා බවට පත්ව ග‍්‍රාමීය ජනතාව අතර කි‍්‍රයාකිරීමට පටන් ගත් යොහාන් පියතුමා මුලදී දැඩි දුෂ්කර තාවයකට මුහුණ දුන්නේය. ඒ භාෂා ප‍්‍රශ්නය යි. ඔහු මුළු මනින්ම වාගේ අධ්‍යාපනය හදාරා තිබුණේ ඉංගී‍්‍රසියෙනි. සිංහලයෙන් දේශන පැවැත්වීමට මුලදී ඉංගී‍්‍රසියෙන් සිතා සිංහලෙන් ඒවා ලියාගැනීමට උදව් ගන්නට සිදුවිය. 

‘‘ගම්මුන්ට සේවය කරන්න නම් ගම්මුන්ගෙන් ඉගෙන ගන්නට අවශ්‍ය බව තදින් දැනෙන්නට වුණා. ටික කළක් සභාව තුළ වැඩ කරද්දී ගමේ සභාවත් නගරේ සභාවට වඩා වෙනස් නැතිබව හැඟුණා. සභා ධූරාවලිය ගමේදිත් ඒ විදිහටම පවත්වා ගත්තා. මේ නිසා සභාවේ සාම්ප‍්‍රදායික කාර්යයන්ගෙන් තෘප්තිමත් වෙන්න බැරිවුණා. ඊට වඩා දෙයක් සිදුවිය යුතු බව හැගුණා.” 

දේවසරණාරාමය ආරම්භ කර කිතුනු හා නොකිතුනු ගොවි කම්කරු ජනතාව සමඟ වැඩ කිරීමට පුරෝගාමි වූ පියතුමා වීම සඳහා ඉහත කරුණු වලට අමතරව බලපෑ තවත් හේතු දෙකක් තිබුණු බව පෙනීයයි. 

‘‘එංගලන්තයේ ඉගෙන ගන්නා කාලයේදීම ආරාම ජීවිතය ගැන ආසාවක් ඇතිවුණා. ඒ ගැන පතපොත කියවමින් අධ්‍යයනය කළා. ඒ වගේම එකල එංගලන්තයේ තිබුණු පූජක කම්කරු ව්‍යාපාරයපිළිබඳ අත්දැකීමද මට බලපෑවා. එංගලන්තයේ කම්කරුවෝ අතිබහුතරය ඒ කාලේ වෙනකොට පල්ලි යාම අත් හැරලා තිබුණේ. ඉතිං සමහර රැඩිකල් පූජකවරු පූජක කම්කරු ව්‍යාපාරය පිහිටුවා ගෙන කම්කරුවෝ අතරට ගිහින් වැඩකලා. එහි අලූත් බවක් තිබුණා. කම්කරුවන්ට සම්බන්ධ විය යුතු බවට අදහස එංගලන්තයේදීම පිළිසිඳුනා.

ආරණ්‍ය ජීවිතයකට පෙම්බැඳ

මේ සියලූ කාරණාවල බලපෑම තුළ හේවාදිවෙල දෙව්ගැති ලෙස වැඩ කරන අතර තුරම 1957 දී දේවසරණාරාමය  පිහිටුවීමට එතුමා කි‍්‍රයා කළේය. ඒ සමඟම ලංකා ගොවි සම්මේලනය සමඟ සම්බන්ධ වී වැඩ කරන්නට අවස්ථාව ලැබීමත් සමඟ සාම්ප‍්‍රදායික දේවගැති ජීවිතය වෙනසකට භාජනය වෙයි. 1959 - 60 අතර කාලය තුළ ආරාම ජීවිතය ගැන අත්දැකීමක් ලබාගැනීමට ඉන්දියාවේ වන්දනා මධ්‍යස්ථානයකට යෑමට අවස්ථාවක් එතුමාට උදා විය. 

හින්දු ආගමෙන් කි‍්‍රස්තියානියට පැමිණ ආශ‍්‍රමයක් පවත්වාගත් කෙනෙකු ළඟ එහිදී අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා. ප‍්‍රංශ, ඉතාලි රෝමානු කතෝලිකයන් දෙදෙනෙක් ද එහි හිටියා.

‘‘ආරාම ජීවිතය ගත්තොත් එහිදී මට බලපෑව ප‍්‍රධාන කාර්යය යාච්ඤාව, ‘සමාජ වැඩ හුදු අභ්‍යාස පමණයි‘කියන මතවාදය  වැනි මතවාදයක් එකල සභාව තුළ තිබුණා.“

1971  අත්දැකීම

‘‘දේවසරණාරාමයට විවිධ පුද්ගලයන් පැමිණියා. ගොවියන්, විරැකියා තරුණයින්. එහි කුඩා කණ්ඩායම් සංවාද ඇරඹුණා. විශේෂයෙන් ගොවි සම්මේලනය සමඟ ගනුදෙනු නිසා දේවසරණාරාමය සමාජ කි‍්‍රයාධරයින් යන එන තැනක් වුණා. ඔවුන් සමඟ විවෘත ස්වාධින ගනුදෙනු තිබුණේ, ඔය අතර අපේ ආරාමයට ආගිය සමහර තරුණයින්, කි‍්‍රයාධරයින් 1971 කැරැල්ල සමඟ හිරගත කෙරෙනවා. පොදුවේ 1971 දී සිරගත වූවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ වීමත් සමඟ එයට දායකවීමට ඒ තත්වය බලපෑවා. 1971 අත්දැකීම් අලලා ප‍්‍රචණ්ඩ ලංකානමින් පොතක් ලියනවා. එය යම් කිසි විදිහකින් එකල තත්වය සංවාදයට ලක් කරනවා.

1971 දී පසුබෑ සමාජ සංවිධාන කි‍්‍රයාකාරිත්වය නැවත ආරම්භ වෙනවා. 1976 දී ගොවි සම්මේලනය නැවත පටන් ගන්නවා හිරෙන් නිදහස් වූ පිරිස් වගේම තවත් අය ඊට සම්බන්ධ වෙනවා. එහි පළමු රැස්වීමේදී මමත් කථා කළා මම කථා කළේ බුදු දහම ඇසුරින්. අනිත් අය මාක්ස්වාදය හා සමාජ විග‍්‍රහය ඇසුරින්ගොවි ජනතාවට වඩාත් සමීපවුනේ සේවක යොහාන්ගේ කතාව. 

එදාසිට මම බොහෝවිට ඔවුන් හා කතා කළේ බුදුදහම ඇසුරින්. ඔවුන් කිතු දහම ගැන යමක් මාගෙන් විමසුවොත් පමණයි මම කිතු දහම ගැන කථා කළේ.” 

1982 දී දේවසරණාරාමය දේවසරණ සංවර්ධන කේන්ද්‍රය බවට පත් වෙනවා. ඒ වෙනවිට සංවර්ධනය හා සාධාරණත්වය පිළිබඳ අරගලය තුළ සාමයික සංවාදය සිදු කරන ස්ථානයක් බවට දේවසරණාරාමය පුළුල් වී තිබීම නිසා එය ආගමික ආයතනයක් නොව ස්වාධීන ආයතනයක් ලෙස සංවිධානය කිරීම අවශ්‍යව පැවතුනා. 1984 දී අපි දේවසරණ සංවර්ධන කේන්ද්‍රයේ ව්‍යවස්ථාව සකස් කළා

රාජ්‍ය නොවන සංවිධානයක ස්වරූපය ගෙන

‘‘ඇත්තටම මුලදී මෙය නඩත්තු වුනේ ඉඩමේ පොල් විකුණා ලද ආදායමින්. පසුව අපි සමූහ ගොවිපලක්, කුකුළු ගොවිපලක් එහෙම ඇති කළා. විදේශ ආධාර ලැබීම ආරම්භ වුණේ ප‍්‍රචණ්ඩ ලංකාපොත මුල් කරගෙන. ඒ පොත කියවූ හැරි ඩැනියල් නැමැති ලෝක කි‍්‍රස්තියානි කවුන්සිලයේ අයෙක් මගෙන් විමසුවා තරුණ කි‍්‍රස්තියානි සංගමයේ ආධාර ලබා ගන්න කැමතිද කියලා. ඒ ගැන අපේ සංවිධානය කතා කළා අපි කිව්වා අපේ ප‍්‍රතිපත්ති පිළිගන්නවා නම් අපි ආධාර ගන්න කැමතියි කියලා. ඔවුන් අපේ ප‍්‍රතිපත්ති පිළිගත්තා. අපි ආධාර ගත්තා. පසුව වෙනත් සංවිධාන වලිනුත් අපි ආධාර ගත්තා.

ගොවි සංවිධාන පවත්වා ගන්නත් එකල මුදල් තිබුනේ නෑ. මම ඔවුනට කිව්වා මුදල් ටිකක් ඉල්ලන්න මම ආධාර කරන තැනක් සොයා දෙන්නම් කියලා. නමුත් ඔවුන් කියා සිටියා අපි ආධාර ඉල්ලන්නේ නෑ. හැබැයි ඔබතුමාට ලැබැණු දෙයක් අපිට දෙනවා නම් අපි ගන්නවා කියලා. අපිට හැකි ලෙස ගොවි සංවිධාන වලට මුදල් උපකාර කළා. හැම විටම අපි ආධාර දුන් අයට අවධාරණය කළා, එගෝල්ලන්ගේ මුදල් මහා ලොකුදෙයක් නෙවෙයි. වටින්නේ ගොවියන්ගේ කැපවීම හා දර්ශනය බව

අපි නිතරම උත්සහ කළේ දේවසරණාරාමය හෝ දේවසරණ කේන්ද්‍රය පුළුල් කිරීමට නෙවෙයි ජනතා සංවිධාන පුළුල් කිරීමට උදව් කිරීමටයි.ජනතා නායකත්වය හා කාන්තා නායකත්වය මතු කර ගැනීමට දේව සරණ කේන්ද්‍රය මූලිකත්වයක් ගත්තා.

මට ආරාධනා රාශියක් ලැබුනා විදෙස් ගතවීමට. මම තුළ වගේම අපේ කණ්ඩායමේ සහජ ඥානය ඇති ඇතැමුන් ඒවා ප‍්‍රතික්ෂේප කළා. 1979 දී ලෝක කි‍්‍රස්තියානි සමුළුවේ ආසියානු නියෝජිතයා හැටියාට කියුබාවට යාමට අවස්ථාව ලැබුනාම සියලූ දෙනා ඊට සහභාගිවන ලෙස ඉල්ලා සිටියා. කියුබානූ ගමනේදී කියුබානූ කාන්තා ව්‍යාපාරයේ ප‍්‍රබල බව මට තදින් බලපෑවා. කාන්තා නායකත්වය ප‍්‍රවර්ධනයට දායක  විය යුතු බවට අදහස ඉන් ලබුණා.” 

1985 දී දේවසරණ කෙන්ද්‍රයේ නායකත්වයෙන් ඉවත් වී ජනතා නායකත්වයට ඉඩදීමට සේවක යොහාන් තීරණය කළේය. ඉන්පසු ඔහුගේ පෞද්ගලික ආශාව වුනේ වව්නියා ප‍්‍රදේශයට ගොස් ද්‍රවිඩ ජනතාව සමඟ සංවාදයකට මුල පිරීම වූ නමුත් රදගුරුවරයා ඔහුව පිළිමතලාව දේව ධර්ම ශාස්ත‍්‍රාලයේ ගිහි පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ලෙස සේවය කිරීමට යොමු කළේය. එහිදී එතුමා සමාජ කි‍්‍රයාධරයන් ලෙස කි‍්‍රයාකිරීමට ගිහියන් පුහුණු කිරීමට කටයුතු කළේය.

1988 - 1989 අත්දැකීම

දේවසරණ කේන්ද්‍රය දැඩි විවේචනයකට ලක් වූ කාලයක් වන්නේ 1988 - 1989 භීෂණ සමය. මෙරට තරුණ ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා රාජ්‍යයට ඔත්තු සැපයූ බවටත්, ‘ප‍්‍රාවැනි ඝාතන කල්ලි සමඟ සම්බන්ධ වී කි‍්‍රයා කළ බවටත් චෝදනා එල්ල විය. ඒ ගැන යොහොන් පියතුමා පවසන්නේ මෙවැන්නකි. 

‘‘භීෂණ යුගයේ දෙපැත්තෙන්ම අපිව සැක කළා. රජය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත්. සමහර ගොවි නායකයින් දෙපැත්තෙන්ම මරා දැමුණා. අපි ඊට විරුද්ධ වුණා. සංවිධානය තුළ සාකච්ඡුාව උණුසුම් වූණා ජ. වි. පෙනුත් අපිට තර්ජන තිබුණා. සංවිධානයේ ටික දෙනෙක් ජ. වි. පෙ. මර්දනයට රජයට ආධාර කළ යුතු බව පැවසුවා. වැඩි දෙනෙක් ඊට විරුද්ධ වූණා. ජ. වි. පෙ. හොඳ පැත්තක් තිබෙනවා. අපි එය මතු කළ යුතුයි කියන අදහසයි ඔවුන් දරුවේ. ජීවිතයට තිබූ තර්ජන නිසා අපි තුවක්කුවක් හා පිස්තෝලයක් අපේ මුදලින් ගත්තා. රජයෙන් නෙවෙයි. රජය අපි ජ. වි. පෙ. කියලා හිතුවා. ආයතනය වටකරලා පරීක්ෂා කළා. ඒ වෙනකොට දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරයේ පති‍්‍රකාවල අපිට විරුද්ධව ලියා තිබෙන බවත්, ඔවුන්ගේ මරණ ලැයිස්තුවල අපේ නම් තිබෙන බවත් රජය දැනගත්තා. ඒ නිසා ආයුධ භාවිතයට අපිට ඉඩ දුන්නා. දවසක් තරුණ පිරිසක් අපේ ආයතනයට පහර දුන්නා. වෙඩි තැබුවා. අපිත් වෙඩි තැබුවා.” 

1990 දී මාලති සමඟ විවාහ වූ සේවක යොහාන් දේවානන් ද 2002 දී ලෝක සහයෝගිතා සංවිධානයේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භකයෙකු ලෙස එහි කි‍්‍රයාකාරිත්වයට උරදීම ආරම්භ කළේය. 2002 දී මෙත් නිවස ද, 2003 දී සමාදාන ප‍්‍රදක්ෂිණා  පිහිටුවීමට ද ඔහු පුරෝගාමි විය. මුලදී සභාව ඔහුගේ යැපීම සඳහා දීමනාව ගෙවීම ප‍්‍රතික්ෂේප කළ අතර පසුව එය ගෙවීමට කටයුතු කරන ලදී. දෙවියන් තම කාර්යය සඳහා දායක වන සේවකයින්ගේ මූලික අවශ්‍යතා ඉටු කරනවායන විශ්වාස තුළ ඔහු නොසැලී කි‍්‍රයා කරයි. 

යොහාන් දේවානන්ද පියතුමා සමාජ කි‍්‍රයාධරයෙකු ලෙස කි‍්‍රයාකරන අතරම විමුක්ති දේව ධර්මයට අදාලව අන්තර් ආගමික හරයන්ගෙන් යුතු ග‍්‍රන්ථ කීපයක්ද ලියා තිබේ. අවසානයටම ලියූ ග‍්‍රන්ථය වන පුංචි අකුරේ දෙව් දහමපොතේ ඉතා විවාද සම්පන්න ධර්ම කරුණු ගැන නිර්භයව අදහස් පළ කර තිබේ. සාම්ප‍්‍රදායික වාමවාදී කොටස් සමඟ එතුමා පැවැත්වූ මුල් සබඳතා එතුමාගේ සමාජයීය කි‍්‍රයාකාරිත්වය ශක්තිමත් කළා මෙන්ම එහි ඇතැම් සීමාවන්ද ලකුණු කර තිබෙන බව පෙනීයයි. ජනවාර්ගික ප‍්‍රශ්නයේදී යොහාන් පියතුමා නිවැරදි අස්ථානයක පිහිටා සිටින බව පෙනී යන්නේ ඔහු රාජ්‍ය ත‍්‍රස්තවාදය හා ඊට ප‍්‍රතිවිරුද්ධව නැගුනු ත‍්‍රස්තවාදය එකම මිම්මෙන් බැහැර නොකර මුල් හේතුව රාජ්‍ය ත‍්‍රස්තවාදය බව ප‍්‍රකාශ කිරීමෙනි. කි‍්‍රස්තියානි දෘෂ්ටිකෝණයෙන් යොහාන් පියතුමාගේ ඇතැම් මත දැක්වීම් කෙනෙකුට ප‍්‍රශ්න කළ හැකි වුවද ඔහු විසින් කි‍්‍රස්තියානියේ විමුක්ති මාර්ගය සොයා යාමට කළ උත්සහය කැප කිරීම අගය කිරීම කිසිවෙකුට නිශ්ප‍්‍රභ කළ නොහැකි වනු ඇත.

2016 මැයි - ජූනි

Friday, April 29, 2016

වතු කම්කරුවන්ගේ පූජකයා



ගරු. ගයි ඩිපොන්ට්ගලන්ඩ් පියතුමා

‘‘වෘකයන් මැදට බැටළුවන් මෙන් මම ඔබ යවමි” යි සමිඳාණෝ පැවසූ සේක. තමන්ට නුපුරුදු බිමක, නුපුරුදු මිනිසුන් අතර, සැකය, වෛරය හා ක්‍රෝධය පිරි සපුන් වන් මිනිසුන් විසින් වට කරන ලදුව සිය කිතුනු මෙහෙවර තුළ ස්ථීරසාරව පැවතිය හැක්කේ මහා දැක්මක් හා අධ්‍යාත්මයක් සතු වූවකුට ය. සන්තියාපිල්ලෙයි ගයි ඩී. ෆොන්ට්ගලන්ට් පියතුමා ද එවැන්නෙකැයි කිව හැක. එතුමා සිසිලියා හා මාරියම්පිල්ලෙයි සන්නියාපිල්ලෙයි යන දෙපළට දාව 1946. 10. 24 දා යාපනයේ කයිට්ස් හි සුරුවිල් නම් කුඩා ග‍්‍රාමයේ උපත ලැබීය. දරුවන් පස් දෙනෙකු ගෙන් යුත් පවුලක තෙවැන්නා වූ ගයි කුඩා කලදී මා පියන්ට ඉතා කීකරු දරුවකු වූ අතර මේ නිසාම මව ගෙදර දොර කටුයුතුවලට උදව්කර ගත්තාය. වයස අවුරුදු පහවන විට ලිප ගිනි මොලවා තේ සූදානම් කිරීමට හැකියාව ලබා තිබූ මේ දරුවාට වයස අවුරුදු 10 වන විට මව අසනීප විය. ඒ නිසා පාසල් නොගොස් ගෙදර නැවතී මවගේ කටයුතුවලට උදව් කරන්නට අනෙක් අය ඔහුට බල කළහ. කුඩා ගයි මීට දැඩි විරෝධය පළ කළ අතර ඔහුට පියාගෙන් හොඳටම ගුටි කන්නට ද සිදුවිය. කෙසේ වුවද කුඩා කල සිට ම මහන්සිවී වැඩ කරන්නට ගයි පුරුදු විය. 

පූජක පුහුණුව 

පූජකවරය අපේක්ෂාවෙන් දෙව්සත්හලට පිවිසි ගයි ඩී. ෆොන්ට්ගලන්ඩ්ගේ යුගයේ කතෝලික සභාව තුළ සුවිශේෂී සිදුවීමක් විය. ඒ දෙවන වතිකාන කතිකාවයි. එය පූජක සිසුවන් පුහුණු කිරීම පිළිබඳ නව දැක්මක් ඉදිරිපත් කර තිබුණි. මේ දැක්මෙන් ජීවය ලද ගයි ඇතුළු දෙව්සත්හල් සිසුවෝ පූජක පුහුණුවේ වෙනසක් ඉල්ලා සිටියහ. එවකට දෙව්සත්හල් පුහුණුව බාරව කටයුතු කළ නිමල මරිය නිකායික පියවරු ඊට යම් අනුකූලතාවක් දැක්වූවද රදගුරුතුමන්ලා තුළ ඒ පිළිබඳ ප‍්‍රසාදයක් නොවූ අතර ඔවුහු පුහුණුව තමන් අතට ගත්හ. එහෙත් සැලකිය යුතු වෙනසක් නොවීය. එවකට යාපනය රදගුරුතුමා ගතානුගතික දැඩි මතධාරියකු වූ අතර බලෙන්ම යාපනය පදවියට අයත් සියලූම සහෝදරතුමන්ලාව අම්පිටිය දෙව්සත්හලෙන් ඉවත් කරගත්තේය. මේ නිසා යාපනය පදවියට අයත් වූ සමහර සහෝදරතුමන්ලා වෙනත් පදවිවලට හා වෙනත් පැවිදි නිකායනට බැඳුණහ. ගයි සහෝදරතුමාට ඒ වන විටත් එවකට නුවර පදවියේ රදගුරුතුමාව සිටි ලියෝ නානායක්කාර රදගුරුතුමා පිළිබඳ පැහැදීමක් තිබිණි. ඔහු මේ ප‍්‍රශ්නය එම රදගුරුතුමා සමඟ සාකච්ඡා කළේය. ‘සභාව තුළ ඔබට තැනක් ඇත.” කියමින් 1971 දී ලියෝ රදගුරුතුමා නුවර පදවියට ඔහු පිළිගත්තේය. 

නුවර ජාතික දෙව්සත්හලේ අධ්‍යාපනය ලබන සමයේ දීර්ඝ නිවාඩු කාලවලදී විවිධ ප‍්‍රදේශවල සිය දූත මෙහෙවර අභ්‍යාස කරන්නට සහෝදරතුමන්ලා යවන සිරිතක් ඇත. ඒ වන විටත් අභාවප‍්‍රාප්ත රෙඤ්ඤෝ රදගුරුතුමා වතුකම්කරුවන් වෙනුවෙන් කරමින් සිටි කටයුතු පිළිබඳවත්, වතුකම්කරු ගැටලූ පිළිබඳවත් ගයි සහෝදරතුමාට දැනගන්නට ලැබී තිබූ අතර සිය නිවාඩු කාලය වතුයායක ගතකරන්නට ඔහු ශ්‍රේෂ්ඨයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව රත්නපුර පදවියට අයත් ගලබොඩ වතුයායේ ඇති මූලික නැවතීමේ පහසුකම් පවා නොතිබුණු කුඩා දෙව්මැඳුරක ඔහු නතර විය. දෛනික ආහාරවේල සැපයූවේ දිළිඳු වතුකම්කරුවන් විසින් ය. මෙහිදී මූලික මග පෙන්වීම දුන්නේ ජේසු නිකායික පියතුමකු වූ ජේකබ් ප‍්‍රනාන්දු පියතුමා ය. වතුකම්කරුවන්ගේ සමාජ, ආර්ථික දේශපාලන ආගමික ජීවිතය ගැන බොහෝ දේ ගැන එතුමාට දැනගන්නට ලැබුණේ මෙතැනදී ය. එය මුලූමනින්ම වහල් තත්ත්වයක් විය. ඔවුන්ගේ ආගමීක ජීවිතය ද එසේ විය. මීසම් භාර පියතුමා වේවැලක් ද රැගෙන ලැයිම් කාමර වටා යමින් ජනයාට පල්ලි යන්නට බලකරන ආකරය එතුමා දුටුවේය. එමෙන්ම ඔවුන්ගේ ආගමික වතාවන් ද ඔවුන් මුහුණ දෙන යථාර්ථය පිළිබඳ ව ඔවුන් අවදි කරන්නක් නොවීය. කළමනාකාරීත්වය ද, ආගමීක නියෝජිතයන් ද, වෘත්තීය සමිති නාකයන් ද මේ අය ඔවුන්ට වාසිදායක අයුරින් පාලනය කරමින් සිටි අතර මේ සියලූ දෙනා ම අර්ධ වහල් ක‍්‍රමයක් පවත්වාගෙන යාමට සහය දුන්නෝ වූහ. ගයි පියතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය වූ අතර මෙම ජනකොටස පිළිබඳව ගැඹුරින් හදාරන්නටද ඔවුන් වෙනුවෙන් කැපවන්නට ද යොමු කළ හේතුව වූයේ ද මෙයයි. 

1973 දී නුවර පදවිය දෙකඩ කර බදුල්ල පදවිය නිර්මාණය කරන ලදී. එහිදී ලියෝ නානායක්කාර රදගුරුතුමා බදුල්ල පදවිය භාරගත්තේ ය. ගයි සහෝදරතුමාද ඒ අනුව බදුල්ල පදවියට සම්බන්ධ වූ අතර 1974 දී සිය උපන් ගම වූ සුරුවිල් ග‍්‍රාමයේදී ලියෝ නානායක්කාර රදගුරුතුමා අතින් පූජකවරය ලැබීය. 

දූත මෙහෙවර 

මෙතුමාගේ යොමුව පිළිබඳව හොඳ අවබෝධයක් තිබූ ලියෝ නානායක්කාර රදගුරුතුමා මුල සිටම එතුමා යොමු කළේ සමාජයීය අපෝස්තලික සේවාවන් සඳහාය. 1975 දී එතුමාට බදුල්ල පදවියේ සමාජයීය අපෝස්තලික සේවා මධ්‍යස්ථානය වූ ශා. බීඩ් මධ්‍යස්ථානයේ කටයුතු බාරවිණි. (1976 දී USCOD යන නම ලැබුයේ මෙම මධ්‍යස්ථානයයි) 
USCOD
 මධ්‍යස්ථානය මඟින් වතු කම්කරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන් ද, ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු වැඩසටහන් ද, ඔවුන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමෙහිලා සැකසුණු ස්වයං රැකියා ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කරන්නට එතුමාට හැකි විය. එපමණක් නොව නගර සභාවේ කුණු අදින්නන් වැනි නුපුහුණු කම්කරුවන් සඳහා සමූපකාර සමාජ ගොඩනගමින් ඔවුන් ශක්තිමත් කිරීම, දුෂ්කර ගම්මාන, හා වැන්දඹුවන් සඳහා විවිධ ආදායම් ඉපැයීමේ මාර්ග හා සහන ව්‍යාපෘති සංවිධානය කිරීම, කෘෂිකාර්මික හා සත්ත්ව පාලන කටයුතු සඳහා අතදීම වැනි කටයුතු රැසක් කරන්නට අවස්ථාව ලැබිණි. එතුමා විසින් අරඹන ලද කම්කරු සංවර්ධන සමාජය නම් ජනතා ව්‍යාපාරය 1983 වන විට කලාප හතක පැතිර තිබූ අතර 5000 ක පමණ සාමාජිකත්වයක් දක්නට ලැබිණි. තවද අතරමග පාසල් හැරගිය අය වෙනුවෙන් මූලික අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම අලූත් ලෝකයක් පිළිබඳ අපේක්ෂාවන් සැඟවූ ‘‘නව උදයම්” නම් දමිළ සඟරාව සංස්කරණය කිරීම ද මෙහිලා අමතක කළ නොහේ. 

නව ලොවක් පිළිබඳ පැතුම් පතන්නවුන්ගේ ගමන් මග පහසු නැත. එය කටු කොහොලින් පිරී ඇත. 1977, 1979, 1981 හා 1983 වර්ෂවලදී කිසිදු සාධාරණ හේතුවක් නැතිව දුප්පත් වතු කම්කරුවනට එරෙහිව වර්ගවාදී ප‍්‍රචණ්ඩත්වය එල්ල විය. ඊට එරෙහිව හඬ නගන්නට ගයි පියතුමාට සිදු විය. වතු කම්කරුවන් දැනුවත් කිරීම පිළිබඳව සාම්ප‍්‍රදායික වෘත්තීය සමිති නායකන් තුළ එතරම් කැමැත්තක් නොවීය. ඔවුන් මෙන්ම ඇතැම් දේශපාලකයෝද මේ කටයුතු පිළිබඳව ප‍්‍රසාදයක් නොදැක්වූ අතර වෘත්තීය සමිති කටයුතු මර්දනය කිරීමට අවස්ථාවක් සොයමින් සිටියහ. එම අවස්ථාව 1983 දී උදා විය. එක්තරා දේශපාලනඥයෙක් කියා සිටියේ පියතුමා ඇතුළු පිරිස සංස්කෘතික මධ්‍යස්ථානයක මුවාවෙන් ත‍්‍රස්තවාදීන් පුහුණු කරන බවය. එය 1983 දෙසැම්බර් මස හැන්සාඩ් වාර්තාවේ ද සටහන් විය. 
USCOD
 මධ්‍යස්ථානයේ කොටසක් ගිනි තබනු ලැබූ අතර ඒ පිටුපස ඇතුම් දේශපාලකයෝ වූහ. පියතුමා ද එතුමාගේ කාර්ය මණ්ඩලයේ ඇතැම් සහයකයන්ද දිවි ගලවා ගත්තේ අනූ නමයෙනි. 

එවකට පැවති දරුණු තත්වය තුළ විදේශගත වීම හැර වෙනත් විකල්පයක් එතුමාට නොවීය. එහෙත් එම විප‍්‍රවාසගත යුගයට ද එතුමා නිහඬ කළ නොහැකි විය. එතුමා දිවිබේරාගෙන යුරෝපා රටවලට පළා ආ සරණාගතයන් පිළිබඳව සමීක්ෂණයක් කර එම අත්දැකීම් ලේඛනගත කළේය. තවද ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිටි සරණාගතයින් වෙනුවෙන් සේවය කරමින් වසර 5 ක් පුරා ඉන්දියාවේ තිබූ සියලූම සරණාගත කඳවුරු පිළිබඳ සිය අත්දැකීම් කැටිකරගත් ‘‘විප‍්‍රවාසගත ශී‍්‍ර ලංකිකයයෝ” (Sri Lankans in Exile) කෘතිය ලියා පළ කළේය. තවද (Ceylon Today) සහ ‘‘ඉලංගයි ඉන්ඩ‍්‍රැ” සඟරාවන් සංස්කරණය කරමින් විප‍්‍රවාසගතව හඬක් නැතිව සිටි ජනයාගේ හඬ බවට පත්විය. 

එතුමාට අභියෝග එල්ලවූයේ වර්ගවාදී චින්තනය විසින් කුණුවීම ආරම්භකර තිබෙන සමාජ දේශපාලනික බල ව්‍යුහයෙන් පමණක් නොවේ. සභා දේශපාලනය ද එතුමාට එරෙහිව කි‍්‍රයාත්මක විය. 1982 දී ලියෝ නානායක්කාර රදගුරුතුමා අභාවප‍්‍රාප්ත වන තෙක් සභාවේ නිල සහයෝගය එතුමාට ලැබිණි. එහෙත් ඉන්පසු බදුල්ල පදවිය තුළ එම සහයෝගය අවම විය. දිළින්දන් කොන්කරනු ලැබූවන් හා සූරාකෑමට ලක්වූවන් සමඟ කරන මෙම කටුයුතු ඇතැමුන්ගේ ‘‘පූජක ඊර්ෂ්‍යාවට” (Clerical Jealousy) ලක්වීම නිසා ද විවිධ ගැහැට විඳින්නට එතුමාට සිදුවිය. කෙසේ වුවද 1990 සිට 1995 දක්වා කාලය තුළ අභාවප‍්‍රාප්ත එඞ්මන්ඩ් ප‍්‍රනාන්දු රදගුරුතුමා යටතේ නායබැද්ද මීසම් සේවක පියතුමා ලෙස ද, ‘‘ලියෝ මාර්ග ආශ‍්‍රමය” තුළින් විවිධ සමාජ හා ආගමීක කටයුතු මෙහෙයවන්නට එතුමා කටයුතු කර ඇත. තවද World Social Forum වැනි සමාජ වෙනසක් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රයත්නයන් හා සම්බන්ධ වෙමින් ඒවා වෙනුවෙන් සිය අත්දැකීම් හා දායකත්වය පුදකරන්නට ද එතුමා කටයුතු කළේය. 

කි‍්‍රස්තියානිය හා දූත මෙහෙවර 

ගයි ඩී. ෆොන්ට්ගලන්ඩ් පියතුමා කි‍්‍රස්තියානිය දකින්නේ කි‍්‍ර. වර්ෂ 3 වන සියවස තෙක් වූ මුල් කිතුනු සංඝයේ අත්දැකීම් තුළ ය. එම කාලය තුළ ඔවුහු තමන් සතු සියල්ල පොදුවේ තබා ගනිමින් එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදාගත්හ. ඔවුන් අතර පොහොසතුන් හෝ දුප්පතුන් නොවු අතර එය පන්ති විරහිත සමාජයක් විය. ඔවුහු තමන් පිළිගත් සත්‍යය තුළ ජීවත් වූ අතර ඒ වෙනුවෙන් දුක් පීඩාවලට හා මරණයට මුහුණ දුන්හ. එතුමා සිය දූත මෙහෙවෙර ලෙස දකින්නේ හඬක් නැති වතු කම්කරුවන් සියලූ ආකාර පීඩනයන්ගෙන් මුදාගෙන නිදහස් හා සමාන ශී‍්‍ර ලාංකික පුරවැසියන් බවට පත් කිරීම ය. 

ශී‍්‍ර ලාංකේය යථාර්ථය හා කි‍්‍රස්තියානියේ වර්තමානය 

දශක ගණනාවක් පුරා ශී‍්‍ර ලංකාවේ සූරාකෑමට ලක්වන දිළිඳුම ජනකොටසක් මැද අනේක විධ අභියෝගයන් මැද සිය දූත මෙහෙවර ගෙන යන්නා වූ ගයි පියතුමා අද්‍යතන ලාංකේය යථාර්ථය තුළ කි‍්‍රස්තියානිය දකින ආකරය ද මෙහි ලා සටහන් කිරීම වැදගත් යැයි සිතමු. 

එතුමාට අනුව කිසිදු ආගමක් ප්‍රචණ්ඩත්වය, වර්ගවාදය හෝ මූලධර්මවාදය අනුමත නොකරයි. ශී‍්‍ර ලංකාව ආගමික රටකි. ජනගහණයෙන් සියයට අනූවකට වඩා ප‍්‍රධාන ආගම් අදහන්නෝ වෙති. එහෙත් ශී‍්‍ර ලංකාවේ ආගම් සාමය, සාධාරණත්වය හා සමානාත්මතාව පිළිබඳ සිය දහම් හරයන් මේ දේශය තුළ ස්ථීරසාර ලෙස රෝපණය කිරීමෙහිලා අසමත් ය. 

විවිධ වාර්ගික ජනකොටස්වලින් සමන්විත ශී‍්‍ර ලාංකීය කි‍්‍රස්තියානිය ද සුලූ ජනකොටස් මුහුණ දෙන ගැටලූව පිළිබඳ ස්ථීර ස්ථාවරත්වයක් ගත නොහැකිව වැනෙමින් සිටී. සැබෑ කිතුනුවා බහුතරවාදය හා කල්ලිවාදය අභිබවා සත්‍යයට සාක්ෂි දරමින් ජාති කුල ආගම් භේදයකින් තොරව සූරා කෑමට ලක්වන, කොන්කරනු ලැබූ දුබල කරනු ලැබූ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙත් කිතුනුවන් ලෙස මෙහිලා අපි අසමත් වී ඇත්තෙමු. මේ නිසා ම අපි සමාජය ආර්ථික, සමාජයීය, දේශපාලනික හා ආගමික වශයෙන් පසුගාමී වී සිටිමු. 

සිංහල කි‍්‍රස්තියානිය ද්විත්ව රංගනයක යෙදී සිටී 1971 කැරැල්ල සමයේ රජයේ සැකයට බඳුන් වූ පියතුමන්ලා ආරක්ෂා කර ගැනීමට විවිධ පියවර ගත් කතෝලික සභාව ජාතික ගැටලූව සම්බන්ධයෙන් කටයුතු කළේ වෙනත් ආකාරයකිනි. 1983 ජූලි කලබල කාලයේදී සිංහල රදගුරුවරු තුන්දෙනෙක් ජනාධිපති විසින් පනවන සියලූ නීති හා විධානයන්ට අනුගත විය යුතු යැයි පවසමින් ජයවර්ධන රජයට සහය පළ කළහ. මෙය එම අවධියේදී රූපවාහිනියෙන් විකාශ විය. පසුව වන්කාලෙයි හීදි මේරි බැස්ටියන් වැනි දමිල පියවරුන් මරා දැමෙද්දී ඔවුන් පලාගියා මිස ඝාතනය නොවූ බව පවසමින් රජයට සිය සහය පළකළහ. මෙම වකවානුවේදී ගයි පියතුමා Ceylon Today සඟරාවට ‘‘සභාව වෙන්වී ඇත්ද?” (Is the Church divided) මැයෙන් ලිපියක් ලිවීය.. මෙම සත්‍යය ප‍්‍රකාශ කිරීම නිසා දකුණේ කතෝලික සභාවේ ඇතැම්මු එතුමා රැඩිකල්, වර්ගවාදී හා සන්නද්ධ කණ්ඩායම්වලට උදව් කරන්නකු ලෙස හැඳින්වූහ.අද පවා සමහර කිතුනුවෝ වර්ගවාදය වපුරන අතර එක්තරා මධ්‍යස්ථානයක සේවය කළ සියලූ ම දෙමළ පැවිදි සොහොයුරියනට මේ හේතුව නිසාම එම මධ්‍යස්ථානය හැර යන්නට සිදුවී ඇති බව ගයි පියතුමා පවසයි. 

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රස්තියානිය ගැන තදබල විවේචනයක යෙදෙන ගයි පියතුමා එය මිය ගොස් ඇතිබවක් පවසයි. ලියෝ නානායක්කාර රදගුරුතුමා, ලක්ෂ්මන් වික‍්‍රමසිංහ රදගුරුතුමා හා දියෝගුපිල්ලේ රදගුරුතුමා වැන්නන්ගේ අභාවයෙන් පසු අනෙක් උදවිය ශී‍්‍ර ලංකාවේ අනෙක් කාදිනල් වරයා වීමට තරඟ කරමින් සිටින බව එතුමා පවසයි. තවද ලක්ෂ 3කට ආසන්න තම ජනතාව කම්බි දැල්වලින් වට කරන ලදුව සරණාගතව අසරණව සිටින අවස්ථාවක මන්නාරම රදගුරුතුමා මඩු මංගල්‍යයට සහභාගීවීමෙන් වැළකී සිටිද්දී වත්මන් කොළඹ අගරදගුරුතුමා මඩු මංගල්‍යයේදී කළ කථාව, දකුණේ රජයට මෙන්ම දකුණේ සභාවට ද උතුර පාලනය කිරීමේ වුවමනාව ඇතිබව පෙන්නුම් කරයි. තවද, තම සෙනඟ කම්බි දැල්වලින් කොටුවී සිටින අසරණ තත්වය තුළ මඩුපල්ලියට සුරුවම් යැවීම උතුරු නැගෙනෙහිර ජනයාගේ අවශ්‍යතාවක් නොවේ. එය බයිබලීය ඉගැන්වීමට ඉඳුරා ම පටහැනි වතාවත්වලට කොටුවුණු ජනපි‍්‍රය කි‍්‍රස්තියානියක් පමණි. කි‍්‍රස්තියානියේ මේ අසමත් තත්ත්වය වර්ධනය වෙමින් පවතින නිදහස් හා මූලධර්මවාදී සභාවන් ප‍්‍රමාණයන්ගෙන් පිළිබිඹුවන බව ගයි පියතුමා පවසයි. සභාව වෙනස්වන්නට සූදානම් නැතිනම් අනාගත සභාව රදගුරුවරු, පූජකවරු හා පැවිදි සොයුරියන්ට සීමාවන අතර දෙවන වතිකානු කතිකාවෙන් පවසන ආකාරයට සභාව යනු ඇඳහිලිවන්තයන්ගෙන් සමන්විත දේව ජනතාව නම් නොවනු ඇත. 

අනාගත සභාව 

සාර්ථක සංස්කෘතියක සමාජිකයෝ යැයි අපි බොහෝ විට අපි ගැන සිතමු. ලෝකය භෞතිකව දියුණු වී ඇත. එහෙත් අධ්‍යාත්මිකව දිළිඳු ය. එබැවින් දැන්වත් නතරවී කල්පනා කළ යුතුය. අසීසියේ ප‍්‍රැන්සිස් තුමා පවසන ආකාරයට අහසටත් පොළවටත් සහෝදරත්වයෙන් සලකන ආදරයේ ලෝකයක් තැනිය යුතුය. ජෙරමියා දිවැසිවරයාගේ පොතෙන් ඉඟිවන ආකාරයට පාපිෂ්ඨ සමාජ ව්‍යුහයන් කඩා බිඳදමා ආදරයේ සමාජයක් වෙනුවෙන් කැපවන නව මිනිසුන්ගෙන් සමන්විත සභාවක් සඳහා සියලූ ප‍්‍රගතිශීලී කිතුනුවෝ පෙරමුණ ගත යුතු බව ගයි පියතුමාගේ අදහසයි.

(‘‘කිතුදහමේ විමුක්ති හරයට පණ පෙවූවෝ‘‘ කෘතියෙනි)

2016 මාර්තු- අප්‍රේල්