Showing posts with label තෙවෙනි බැල්ම. Show all posts
Showing posts with label තෙවෙනි බැල්ම. Show all posts

Friday, June 17, 2016

කිතුනු පැවිදි කිවිඳියකගේ දෙවන පැමිණීම ”ගිනිසීරියා මල්”


කිතුනු කවියේ පැවිදි ලකුණක් වීමට වාසනා ගුණ තිබෙන කිවිඳියකගේ
දෙවන පැමිණීම ගිනිසීරියා මල්

 (නො ) නිදහස් වෙළෙඳ කලාපයේ යථාර්ථය එහිම වහල් සේවයේ නියැළි ඇළුම් සේවිකාවක සේ චිත‍්‍රණය කළ මර්සි නෙත්සිංහ නම් තරුණියගේ කඳුළියන්ගේ කලාපයපද්‍ය සංග‍්‍රහය මීට විසි වසරකට පෙර අප තුළ බලාපොරොත්තු දල්වාලූයේය. මන්දයත් සමාජ යථාර්ථය කෙරෙහි සංවේදි කිතුනු කිවිඳියකගේ ගමනක ඇරඹුම එහි සුපැහැදිලි ලෙස සටහන්ව තිබුණු බැවිනි.

නමුත්, පුවත්පත් පිටු අතර කවියකට නෙත් හෙලන අපට ඒ කිවිඳිය හැදී වැඩි පරිණතව ලියන කවියක් ඉන්පසු මූණ නොගැසුණි. කලාපයට සමු දී කන්‍යාරාමයකට පිවිස ගරු මර්සි නෙත්සිංහ පැවිදි සොයුරිය ලෙස දශක දෙකකට පසු ගිනිසිරියා මල්කවි පොතින් ඇය නැවත අප හමුවට පැමිණ සිටින්නීය.

ගිනිසිරියා මල්ලාංකේය කිතුනු සාහිත්‍ය තුළ කිසියම් සන්ධිස්ථානයක් සළකුණු කරයි. කවි ලියන්නියක්, පැවිදි දිවියට ඇතුළත් වීමෙන් පසු පළ කරනු ලැබු ප‍්‍රථම කවිපොත ගිනිසිරියා මල්ය.



කවිය තම ප‍්‍රකාශන මාධ්‍ය කරගන්නා පූජක පැවිදි පිරිස අතක ඇඟිලි ගාණටත් වඩා අඩු ලාංකේය කිතුනු ක්ෂේත‍්‍රය තුළ මර්සි නෙත්සිංහ පැවිදි සොයුරියගේ ප‍්‍රයත්නය සුවිශේෂි වේ.

ගිනිසිරියා මල්තුළ සංගෘහිත කවි 55 කි. ඒවා ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය.

-           පොදු අත්දැකීම් පොදු බසකින් ලියු කවි

-           පොදු හා පෞද්ගලික අත්දැකීම් කිතු දහමේ ආලෝකය තුළින් ලියු කවි වශයෙනි.

පළමු වර්ගයේ කවි ඉතා අල්පයක් හා දෙවන වර්ගයේ කවි බොහෝමයක් මෙහි ඇතුළත් ය. කිතුනු නොකිතුනු කාටත් සමීප විය හැකි පොදු අනුභූතින් ඇසුරින් නිර්මිත අල්ප වු කවි අතරින් ‘‘බලන්න නෙත් හැර’’ නිර්මාණයේ අවසාන පදය තුළ පවතින කාව්‍යමය ගුණය ඉහළ එකකි.

මිනිසුනි.... බලන් මේ මල් මත
ආදරය පමණක් ම ඇත පිපි

 ‘හරිත යායෙන් නිවසක්යන කවිය ඉතා සුලබ ඉඩම් වෙන්දේසි දෙස අපූර්ව බැල්මක් හෙලයි. වර්තමානය වන විට ගමේ ඉඩම් වෙන්දේසි පමණක් නොව නගරයේ සුපිරි නිවාස විකිණීම් ද නොඅඩුව සිදු වේ. ඒත් ඒ අතර හිසට සෙවණක් අහිමි මාවතේ අගුපිලේ වෙසෙන්නෝ කොතරම්ද? දුගී යාචකයෙක් මිය යන්න ආසන්න මොහොතේදී තම නිවස දන් දීමට කරන දැන්වීම මේ කවියේ ආත්මයයි.

හරිත යායෙන් නිවසක්
සෙනඟ ගැවසෙන බස් නැවතුමට
දුම්රියපළට හරි ළඟයි
ඉඳුල් බත විසි කරන
පින්සරහෝටලය අත ළඟයි
පන්සලට පල්ලියට සැතපුමයි
මහා විද්‍යාලය නම් අත ළඟයි
ඒත් කුමටදැයි

ලයිට් ගෙට උඩයි
පහන් කණුව යට ගේ ඇතුවා
වතුර අත ළඟයි
නගරේම කුණු සමගින් ගලනා
තෙමුණත් නොතැවෙන, සුළඟට සෙලවෙන
ඉටිරෙදි, ගෝනි පඩංගු ද එල්ලා
ටකරමකින් යන්තම් ඉහ අටවා
සදා නොඉන්නට සැදු මගේ ගෙය
පවුලක් වෙත දෙමි මම වැනි යාචක

මැද පෙරදිග ගිය බිරින්දෑවරුන්ගේ දියණියන් තම පියවරුන්ගේ ලිංගික ගොදුරු බවට පත්වීම අප නිතර අසන ඛේදවාචකයකි. ඒ ඛේදවාචකය මුල් කරගෙන ලියැවි ඇති ෆැක්ස් පණිවුඩයප‍්‍රශස්ත නිර්මාණයකි.

මව නැති ගෙදර දියණිය වැඩිවියට පත් වේ. තාත්තා බේබදු මිතුරන් සමඟ මධුපාන උත්සවයක් පවත්වති. අම්මා උපයන මුදලින් බාගෙට බැඳුණු බිත්ති අතරේ මතින් මත්වු පියාගේ ලිංගික ආශාවේ ගොදුරු බවට දියණිය පත් වේ.

ඉසදියට වත්කළ උදෑසන
පිච්ච කැකුළක සුවඳ
වැලි කතර සිහින ඇහිඳින
අම්මේ නුඹ වෙතට
හෙට උදේ එවන්නට
සිහින මැව්වාද මොනතරම් මම

එක රැයක් එළිවෙන්න ඉස්සරින්
සුවඳට ඇදි ආයේ
මල් සමනලූන් නොව
අප්පච්චිගේ සුරා මඩමට
වහ වැටුණ මත් බමර කැළ

ගලින් ගල ගොඩ නැගෙන
කොට බිත්ති මතින් පැන
පියස්සක් දොරක් නැති ගෙදර
කොහේ සැඟවෙම්ද මම
බමන මතින් වියරු වු
අප්පච්චි ගේ සළෙළු කය
කුළුදුලේ ම මා සිරුර
බිළිගත් එකල්හි

මර්සි නෙත්සිංහ නම් කවි ලියු තරුණිය පැවිදි වු පසු ලියු කවි බහුතරය කිතුනු ආගමික දෘෂ්ටියෙන් ලියැවී ඇති බව පෙර කීවෙමි. එහිදි ඇගේ කවි බොහොමයක් සම්ප‍්‍රදායික ආගමික වර්ණනාවලින් ඔබ්බට ගිය විමසුම් බැලූම්වලින් යුතු ඒවාය. කිවිඳිය අපගේ ඇගයුමට ලක්වන්නේ ද ඒ නිසාමය.

මංජුල වෙඩිවර්ධන, තරංගනී රෙසිකා ආදින් විසින් මෑත කාලයේ පෝෂණය කරනු ලැබු සිංහල කවියේ කිතුනු ශානරය පොහොසත් කළ හැකි දැක්මක් මර්සි නෙත්සිංහ පැවිදි සොයුරිය සතුය. එහිදි ඇය වඩාත් ඉසිසුම් භාෂාවක් තව දුරටත් වර්ධනය කර ගත යුතුය. ඒ සඳහා ඉහත කි ශානරයට අයත් කවි ඇසුරු කිරිම හා නූතනම පරපුරේ කවි ඇසුරත් ඉතා අවශ්‍ය ය.

 ‘‘පහන හා ආලෝකය’’ මැයෙන් වු කවිය දෙවියන්ට පහන් පත්තු කරන බැතිමන් උවැසියක හා දෙවිදුන් අතර දෙබසකි.

දෙවියන්ගේ පහන නිවෙන්නට හැර දෙවියන් අඳුරේ තැබීම වරදකැයි සිතන බැතිමත් සිතුවිල්ල ඇය තුළ තිබේ. ඇය දෙවිඳුන්ගේ කුටියට එන විට රැයේ දැල් වු පහන නිවි කුටිය අඳුරේ ගිළී ඇත. ඇය දෙවිඳුන්ගෙන් මෙසේ විමසයි.

‘‘ඇයි ඔබ නිවා ගත්තේ පහන.
හොඳ නෑ ඔබව අඳුරේ තබන්න.

දෙවිදුන් ඇයට දෙන පිළිවඳන් මෙසේය.

පහනක් දක්වා තබා මා ළගින් දරුවෝ
මගේ කුටිය ආලෝකවත් කරන මිනිසුන්
සහෝදර සෙනෙහසක්
ළතෙන් හදවතක් නැති විලසින්
එකිනෙකා පරයා නැගී හිඳින අද
වංචා, වෛරය, දූෂණය, භීෂණය වපුරමින්
ලෝකය ම පාපී ගනඳුරේ හෙළන බව නොපෙනේද?
           
 ‘නත්තලමැයෙන් වන කවියේදි සොයුරිය ඉස්මතු කරන්නේ අන්ධකාරයේ ඇවිද්දාවු, සෙනඟ මහත් ආලෝකයක් දුටුවාහුය.යන ශුද්ධ ලියවිලි පාඨයයි. නත්තලින් වසර 2000 කටත් පසුව සෙනඟ තවමත් අඳුරේ නොවේද?

හෙම්බත් වෙලා නත්තල් සීයලා
අවු කූටකේ විකුණලා සිම් කාඩ්
සෙල්ෆෝන් රයිස් කුකර්
තව තව ජාති

ගනඳුරින් පිරුණ දේශයට
ආලෝකය උදාවි නොමැත
අන්ධකාරයෙහිම සෙනඟ මංමුලාවේ යති
මග කියන්නට පුංචි තරු කැටයක්
වත් නොමැති කල
උඳුවප් සීතලට ගල් ගැසෙති
සුබ අස්න දේශනා කරන්නට පෙරම
දිළිඳුන්.........

කතුවරිය සතු අතිශය සංවේදි හදවත බොහෝ කවිවල ඉස්මතුව එයි. කිතුනුවෙකු සතු විය යුතු නිරතුරු තම හෘද සාක්ෂිය විමසා බැලීමේ ගුණය ඇය සතුය. ඉතාම ක්ෂුද්‍ර අත්දැකීමක් තුළ පවා  ඕ තම හදවත පිරික්සා බලයි. ‘‘අහුලාගත් පැන්සල’’ ඒ ගුණය මනාව ප‍්‍රකට කරයි.

පාරේ වැටුණු දිග පැන්සලක් ඇහි ගන්නා ඇය සතුටට පත් වේ. ඒ ඇගෙන් අකුරු කරන්නට එන පැන්සල් කොටයක්වත් නැති දුප්පත් දරුවෙකුට එය දිය හැකි නිසාය. පැන්සල් කොටයක් හෝ ඇගෙන් ඉල්ලන එවන් දරුවන්ට පැන්සලක් අරන් දෙන්නට අතමිට ද ඇයට නැත. එහෙත් ඇගේ සිත ඉන් එහාට ගමන් කරයි.

දිග ම දිග පැන්සලක් අග්ගිස්සේ
දිගම දිග දුක හිතෙන
කතාවක් තිබිය හැකි
මහ පොළව හා පොර බදන
අත පා කුලී වැඩ සිඟා යන
කෘෂව ගිය පියෙකුගේ සිරුරු දහඩිය
කුස ගින්දර දරාගත් මවක ගේ කඳුළු කැට
කිරට හඩනා බිළිඳෙකු ගේ ඉකිබිඳුම්
තිබෙන්නට පුළුවනි
සතුටු විය හැකි ද ඉතින් අපට
දයාබර මගේ පැන්සල් පෙට්ටිය
මේ අසරණයන්ගේ කඳුළු අරගෙන

 ‘ධර්ම විවේකයෙන් පසුමුළු මහත් කිතුනු ප‍්‍රජාවට ගැඹුරු සිතා බැලීමකට ආරාධනා කරන කවියකි. වර්තමානයේදි ධර්ම විවේකද මෝස්තරයක් වෙමින් පවති. මීසම්, කලාප, පදවි ජාතික මට්ටම්වල මෙන්ම විදේශීය ධර්ම විවේකවලට යාමට ද නැඹුරුවක් පවති. ‘මම ඉන්දියාවේ ධර්ම විවේකයට ගියා.‘ ‘මම ශුද්ධ වු දේශයේ ධර්ම විවේකයකට ගියා‘ වැනි ප‍්‍රකාශ තමන් වටිනා අධ්‍යාත්මිකත්වයක් ඇත්තෙකු බව හැඟවීමට යොදා ගන්නා ප‍්‍රවණතාවක් අද පවති.

ධර්ම විවේක තුළ ජීවිත වෙනස්වීම් ගැන සාක්ෂි දරන, ධර්ම විවේක තුළදි සුවපත් පහන් හැගුම්වලින් පිරෙන බොහෝ දෙනෙකු ධර්ම විවේකම සොයා යන්නේ හරියට ජේසු තුමන් අන්‍යරූප විලාස වු අවස්ථාවේ මණ්ඩප තුනක් සාදා ඒ කඳු මුදුනේම රැඳි සිටිමට ආශා කල ඒ අත්දැකිම, ගැළවීම ලෙස දකින්නට ආශා කළ ගෝලයන් සේ යැයි කතුවරිය නොකියා කියයි. නමුත් ගැලවීම ඇත්තේ කන්ද උඩ මණ්ඩපයේ නොව, කන්ද පාමුල වෙසෙන ජනතාව අතර කූඩාරම් ගැසීමෙනි.

දෙවිපියාණන්ගේ දෑතට මැදි වී
කිතු සමිදුනි ඔබේ හදවතට තුරුලූ වී
ඔබේ ආදරයේ විසල් බව ගැන
පියතුමාගේ වදන්
දෙසවනට නොව හදවතට
කතා කරන විට

සමිදුනි මෙහි සිටීම
මොනතරම් වාසනාවන්තද සිතෙයි මට
අපි මණ්ඩප තුනක් සාදමු
එකක් ඔබටය
එකක් පියතුමාටය එකක් අපටය

එහෙත් සමිඳුනි ඔබ කියයි
දැන් ඉතින් ධර්ම විවේකය අවසන්ය

අපි මේ කන්දෙන් බැස
මේ සොඳුරු පරිසරයෙන් නික්ම
අපට හිමි ලෝකයට යමු
එහි තිබෙයි ජීවිතය කටුක වු

ධර්ම විවේකය තුළ අප දුටු
සෞම්‍ය වු මුහුණු වෙනුවට
එකිනෙකාට හට රවන, ඔරවන
එකිනෙකා පරයා නැගිටින්න වෙර දරන
ලෝකයා ගේ රළු බැනුම්
විඳ දරාගෙන ජීවිතය ගත කරන්නට
අපි මේ කන්ද බැස
ගෙදර යමු

කන්ද උඩ හිම මෙන් දිස් වුවද
මගේ වුවන
මෙහි තිබෙයි කුරුසිය මට අයිති
ඔබටත් තිබෙයි අනිවාර්යයෙන්ම
අරගෙන යා යුතු වු.....

 ‘අපට ළදරුවෙක් උපන්නේයමැයෙන් වු කවිය පහළ මධ්‍යම පංතියේ හා පීඩිත පංතියේ මිනිසුන්ගේ පවුල් ජීවිතයේ එක් පැතිකඩක් විවරණය කරයි. එය ගැඹුරු කි‍්‍රස්තියානි අවලෝකනයකට මඟ පාදයි. කිවිඳිය යා යුතු කවි මඟ මේ යැයි ඇයටම නිදර්ශන සපයයි. බස තවත් ඉසියුම් වුයේ නම් සැබැවින්ම මේ හොඳ නිර්මාණය විශිෂ්ට නිර්මාණයක් වන්නේය.

දෙවියන් වහන්සේ එක් කළ අය
මිනිසා වෙන් නොකෙරේවා

ශුද්ධ වු බයිබලයේ මාක් 19:6

මල් වෙඩිල්ලේන් අනතුරු
ආසිරි මල් වරුසා සැම නතර විය
ගොරවා ගොරවා වසින්නට ගත් වැස්ස
අකුණු හෙණ හඬ සමඟ
නව දිවි ගමන දෙදරවන තරම් විය
දිය යටින් ගින්දර අරන් එන
අසල්වැසි කුඩුකේඩු ගැහැණු
දෙවැනි ගමනේ රුධිර සලකුණු සොයන
අම්මාගේ සිත ගිනි තැබුහ...

ඉවසීම පළිනොගැනීම ප‍්‍රගුණ කර
පුදසුන මත ගිවිස දුන් අයුරින් ම අපි
ආදරයෙන් පේ‍්‍රමයෙන් බැඳුණෙමු
එකම කයක් ද එකම ආත්මයක් ද වුයෙමු.
එසඳ ඇගේ කුස තුළ
ජීවයක් පිළිසිඳ ගැනිණ.

දායාද මදි කියා
ලොකු අක්කා ද සටනට වන් කල
දික්කසාදයට අත්සන් තබන්නැයි
අවි අමෝරා ගත් සැවොම අතහැර
විළිරුදාවෙන් පෙළෙන ඇය සමඟ
සංගණනයක් නැතිමුත්
දුක්විඳ හදාගත් ගේ දොර
හැරපියා පැමිණියෙමි.
ඈ සිය කුළුදුල් පූත‍්‍රයා ප‍්‍රසූතකොට
ආණ්ඩුවෙ ඉස්පිරිතාලයෙන්
කුලී නිවහන වෙතට ආවාය.

පවුලක් ලෙසින් අපි සතුටින් ම
ජීවිතය පටන් ගත්තෙමු.

පල්ලි, පන්සල් ධර්මය වෙනුවට ආගම ආදේශ කිරිම නිසා සිදු වී ඇති ඛේදවාචකය සුළු පටු නැත. මීසම්වල වස්තු සම්පත් ප‍්‍රමුඛ වීම නිසා මීසම් සභාවල, මංගල්‍යවල මුල් පුටු හිමිවන්නේ ඇති හැකි අයටය. ඔවුන් බහුතර පීඩිතයාගේ හද ගැස්ම නොදැනේ. එවැන්නෝ විවිධ ව්‍යාපෘති යෝජනා කරති. ඒ බර අසරණයින්ට ආගම එපා කරවයි. ‘‘නිහඬ වීමේ ආදිනව’’ ඒ කටුක සත්‍ය විධාරණය කරයි.

නමින් මම කතෝලික
හැම ඉරිදාම පල්ලි යන
පල්ලියේ බල කණුවක් ව වැජඹෙන
තොරණට අත දිග හැර මුදල් දෙන
ටයිල්ස්දමමු පල්ලියට
තාප්පය තව ටිකක් උස් කරමු
දුප්පතුන්ගේ රීරී මාංසයම උරාගෙන
යෝජනා ගෙනෙන තීව‍්‍ර කරන
කොමිස් මුදලින් ගසා කන

වසාගෙන පිරුවටයෙන් කිළිටි ගත
හිඳී කඳ බඩ කෙළින් කොට
ලබා ආරාධනා මුලසුනට
කිසිවෙකුත් නොමැත පෙන්වා දෙන්නට
සුදුහුණු ගෑ සොහොන් කොත්
වාගෙයි කියා ඇඟිල්ලෙන් ඇන
කිසිත් විළිලැජ්ජාවක් නැතිව

හෙටත් බිහිවෙයි පල්ලියෙන්ම
පරිසිවරුන්ගේ පරපුර

ලිපියේ ඉඩකඩ සලකා ගිනිසිරියා මල්ගැන අපගේ ලියමන අවසානයට ගෙන ආ යුතුය. නමුත් කතාබහට ලක්විය යුතු තව බොහෝ කවි පොතෙහි ඇතුළත්ය. අන්ධවුවෝ”, ”හදවතින් උපන් කවිය”, ”කලාපයේ ටි ටයිම්ඉන් කීපයකි.

මර්සි නෙත්තසිංහ පැවිදි සොයුරියට පොහොසත් කවි සිතක් ඇත. ඇය තම කවි බස තව පොහොසත් කරගන්නේ නම් ලාංකේය සිංහල කිතුනු කවි කෙත තුළ සුවිශේෂි අනන්‍යතාවයක් ප‍්‍රකට කල පැවිදිවරියක ලෙස දිගු ගමනක් යා හැකිය. ඒ සඳහා දිරිය පතමු.

දෙනෝදාහක් ජනප‍්‍රිය වැඩවල සිරවී තමන් සතු හැකියා අපතේ යවන පැවිදි පූජක බොහෝ දෙනෙකු අපට හමු වේ. සාහිත්‍ය ක්ෂේත‍්‍රයට වඩා අද බොහෝ දෙනෙකු ජනප‍්‍රිය සන්නිවේදන ක්ෂේත‍්‍රයන් සොයා යාමට පි‍්‍රය කරනු පෙනේ. නමුත් සාහිත්‍ය ක්ෂේත‍්‍රය වනාහි කිතුනුවෙකුට විශේෂයෙන් කිතුනු පැවිදිවරයෙකුට, ඉතා හොඳ වැඩ බිමක් බව ඔව්හු අමතක කරති.

මහින්ද නාමල්


2016 මැයි-ජුනි

උතුරු දකුණු කිතුනු සාහිත්‍ය බිහි නොවුණේ ඇයි?

සේයා රුව - ලාල් ලක්ෂ්මන්

පොදු ඇදහිල්ලක් තිබියදීත් උතුර හා දකුණ යා කළ කිතුනු සාහිත්‍ය බිහි නොවුණේ ඇයි ?

මැයි මාසය ශී‍්‍ර ලංකා ඉතිහාසයේ සන්ධිස්ථානයක් සළකුණු කරයි. සිංහල ඇසින් එය යුධ ජයග‍්‍රහණයේ උද්දාමයත් උතුරේ ද්‍රවිඩ ජනයාගේ ඇසින් තම ජනතාව මතට හෙලූ බියකරු විනාශයක ශෝකයක් සටහන් කරයි.
එකම රටක මිනිසුන් දෙවර්ගයකට එකම සිදුවීමක් මෙසේ දැනෙනවානම් එය එකම රටක් වනු හැකිද?

අපගේ මෙම කෙටි ලිපියේ අරමුණ ඒ ගැන විමසීම නොවේ. විශේෂයෙන් ශී‍්‍ර ලංකාවේ සංහිදියාව උදෙසා ප‍්‍රබල දායකත්වයක් සැපයීමට ශක්‍යතාවයක් තිබු, තිබෙන කිතුනු ප‍්‍රජාව සාහිත්‍ය ක්ෂේත‍්‍රය තුළ ඒ සඳහා ගෙන ඇති උත්සාහය කුමක්ද? යන්න විමසීමයි.

ශී‍්‍ර ලංකාවේ සිංහල හා දෙමළ යන ජාතින් දෙකම නියෝජනය කරන ප‍්‍රධාන ආගම වන්නේ ක‍්‍රිස්තියානියයි. කතෝලික ඇන්ගිලිකානු මෙතොදිස්ත සියල්ලම නියෝජනය කරන සිංහල හා දෙමළ විශ්වාසිකයෝ සිටිති.           

ජාතින් දෙකට අයත් වුවද ඔව්හු එකම ඇදහිල්ලක ජීවත් වෙති. එකම විශ්වාසයක් මත පදනම් වෙයි. එබැවින් ඔවුන්ට සාමය හා සංහිදියාව සඳහා විශාල මෙහෙවරක් කළ හැකිව තිබුණේය. එය ඔවුන් අතින් ඉටු නොවිය. තවමත් ඉටුවන බවක් නොපෙනේ. එය දෙවියන්ට පිටුපෑමකි. කවදා හෝ මේ රටේ කිතුනුවන් කිතුනු නායකත්වය දෙවියන් ඉදිරියේ ගණන් දිය යුතු ප‍්‍රධාන කරුණක් වන්නේ එයයි.

පසුගිය දශක දෙක තුන තුළ පශ්චාත් හා පූර්ව යුධ සමයන් හි අත්දැකිම් විමසා බැලෙන කිතුනු නිර්මාණයක් බිහි වීමද, සිදු වු බවක් නොපෙනේ. එය එසේ වුයේ ඇයි?

උතුරේත් දකුණෙත් කිතුනු සාහිත්‍යධරයින් නැති නිසාද? කිතුනු සාහිත්‍යධරයින් යැයි කියාගත්ත පිරිස් සිටියත් සැබැවින්ම ඔවුන් තුළ කිතුනු ආධ්‍යාත්මිකත්වයක් නොතිබුණු නිසාද?

උතුරේ හද ගැස්ම දකුණටත් දකුණේ හද ගැස්ම උතුරටත් සන්නිවේදනය කළ හැකි අත්දැකීම් බෙදාහදා ගැනීමේ කි‍්‍රයාමාර්ගයක් වත් එක්ව නොගැනීිම කොතරම් දරුණු අතපසු කිරිමක්ද?

අවම වශයෙන් යුද්ධයට අදාළ විවිධ තත්වයන් තුළ ඝාතනයට ලක් වු අතුරුදහන් වු පූජකතුමන්ලා ගැනවත් පූජක සංඝයක් ලෙස එක්ව දිව්‍ය පූජාවක්වක් තැබිමේ පියවරක්වත් ගැනිමට නොහැකි වීම පවසන්නේ කුමක්ද? අපගේ ඇල්මැරුණු මළ ඇදහිල්ලයි. මේ පිළිබඳ යම් පමණක් හෝ අවබෝධයක් ගත හැකි සාක්ෂි දැරිම් එකතුවක් වන්නේ කිතු දහමේ විමුක්ති හරයට පණ පෙවුවො පොත පමණි.

උතුරේත් දකුණේත් කිතුනුවෝ කිතුනුදහමට වඩා ජාතිවාදයට යටවුවන් බව මෙයින් නොපෙනේද?

විශේෂයෙන් මෙහිදි වැඩි පුර යමක් කිරිමට හැකියාව තිබුණේ දකුණේ කිතුනුවන්ටයි. එහෙත් ඔවුන් අතින් එය ඉටු නොවිණ. එය ඉටු නොවීමට නිදහසට කරුණු කීමෙන් පව් සමාවේද?

උතුරේ දෙමළ සහෝදර ජනතාවගේ අරගලයේ යුධ පෙරමුණ පරාජය කිරිමෙන් පසුව දකුණේ සභාව (ගිහි පූජක පැවිදි) ක්‍රියා කරන්නේ ජාතික ප‍්‍රශ්නය නිමා වී සාමය උදාවු බව සිතාගෙන වාගේය. රටේ සාමය සඳහා කළ යැදුම නවතා දමා තිබේ. සාමය ගැන ගැයුණු ගීතිකා එක දෙක ද දැන් ගැයෙන්නේ නැත.

නමුත් අප හොදින් දන්නා යථාර්ථය වන්නේ ජාතික ප‍්‍රශ්නයට පිළිතුරක් ලැබි නැති බවයි. යුද්ධයේ නිමාව තාවකාලික අවසානයක් පමණක් බවයි. සත්‍ය සෙවීම හා යුක්තිය ඉටුවීම සිදු විය යුතු බවත් දේශපාලන විසදුමක් ලබා දිය යුතු බවත් පැහැදිලිය. ඒ සඳහා දකුණේ සභාව යමක් සිදු කරන බවක් නොපෙනේ.

කිතුනු ලේඛකයින් හා සාහිත්‍යවේදින් අතින් ජාතික ප‍්‍රශ්නය නිසා පීඩා විඳි, විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අත්දැකීම් කිසිවක් ප‍්‍රතිනිර්මාණය නොවේ. ඉ`දහිට ලියැවෙන ලිපියක දෙකක පවා ඇත්තේ දේශපාලකයින්ගේ ප‍්‍රකාශන වලට ප‍්‍රතිචාරයන්ය. අපි ජාතිවාදින් නොවෙමුයි කියන බොහෝ දකුණු කිතුනු ලේඛකයින්ගේ ලිපි ලේඛන තුළ සැඟවුණු අවිඥානික ජාතිවාදය පවතින බව සැඟවිය නොහැකිය.

නිදන්ගත අවිඥානික ජාතිවාදයෙන්ද මිදුණු තරුණ පරපුරක් නිර්මාණය කරගැනීමට නම් සංහිදියා කතිකාවක පුළුල් කරගැනීමට වහා කි‍්‍රයාත්මක විය යුතුය. කෙටි කතාව, කවිය, කෙටි චිත‍්‍රපටිය, නවකතාව, ගීතිකාව මේ සඳහා යොදා ගන්නට සාමයේ කුමරුන් කරන ආරාධනය දැන්වත් පිළිගැනීම අවශ්‍ය ය.

උන්ගේ යුද්ධයට පසු අපගේ සාමය
කෙටි චිත‍්‍රපටි හා ගී නිර්මාණ තරඟය

ඊනියා යුධ ජයග‍්‍රහණයෙන් පසු ජාතික ප‍්‍රශ්නය විසඳුණිද? සැබෑ සාමය ඇති විණිද? ලේ වැකි අතීතය අනාගතයට උරුම නොවීමට අවැසි වෙනස රට තුල සිදුවිණිද? නැත.

ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය හෝ වෙනත් කිසිදු පටු දෘෂ්ටිවාදයක් සාධාරනීකරණය කිරීමට කිතු දහම මතු නොව කිසිදු දහමකින් ඉඩක් නැත.

සාධාරණත්වය මත පදනම් වූ ස්ථීර සාමය උදාකරගැනීමේ කතිකාව මුල් කරගෙන කෙටි චිත‍්‍රපටි හා ශ‍්‍රව්‍ය දෘෂ්‍ය හි නිර්මාණ තරඟයක් පැවැත්විම කිතුසරකටයුතු සැලසුම් කරයි.

මාධ්‍ය
සිංහල හෝ දෙමළ

තරඟ වර්ග

- කෙටි චිත‍්‍රපටි (විනාඩි 03-10 අතර)
- ගී නිර්මාණ
- ගීතිකා නිර්මාණ

තරඟ පැවැත්වෙන අංශ

- පාසල් අංශය - වයස අවුරුදු 20 අඩු අය සඳහා
- විවෘත අංශය - වයස අවු 20 වැඩි අය සඳහා

තරඟකොන්දේසි

- සෑම නිර්මාණයක්ම නව නිර්මාණ විය යුතුයි.
- නිර්මාණ කරුවෙකුට නිර්මාණ තුනක් දක්වා එවිය හැකිය.
- නිරමාණ ඩී.වී.ඩී මාධයෙන් භාර දිය යුතුය.
- නිර්මාණ භාරගන්නා අවසාන දිනය ඔක්තෝම්බර් 15

තැපෑලෙන් හෝ ගෙනැවිත් භාර දිය හැකි ස්ථාන

අංක: 57, රිදී මාවත, කළමුල්ල, කළුතර.
034 2224558/ 071 3363656

496/ බී, දළුවකොටුව, කොච්චිකඬේ.
071 4334990/ 077 9337221