Showing posts with label සාහිත ඇසුර. Show all posts
Showing posts with label සාහිත ඇසුර. Show all posts

Thursday, April 7, 2016

ගින්දර පළඳනාව


ප‍්‍රකට ඇමරිකානු නවකතා හා කෙටිකතාකරුවෙකු වන නැතනියෙල් හෝත්‍රෝන් (1804-1864) විසින් 1850 දී ලියන ලද The Scarlet Letter නම් නව කතාවේ සිංහල පරිවර්තනය ගින්දර පළඳනාව වේ. ස්වර්ණකාන්ති රාජපක්ෂගේ පරිවර්තනයක් වන මෙය විදර්ශන ප‍්‍රකාශනයකි. මෙම නවකතාව හෝත්‍රෝන්ගේ නිර්මාණවලියෙහි අග‍්‍ර ඵලය වනවා පමණක් නොව ලෝක සාහිත්‍යයේ වැදගත්ම කෘතින් අතරින් එකක් ලෙස ද සම්භාවනාවට පාත‍්‍ර වේ.

1642-1649 දක්වා වු කාල සීමාවේ ඇමරිකාවේ නව එංගලන්තය නම් ප‍්‍රදේශයේ මැසචුසේට්ස් දිසාව පසුබිම් කරගෙන මෙය ලියැවී ඇත. ඒ වනාහි ඇමරිකාවේ නව ජනපදයෙකි. පියුරිටන් වාදි කිතුනුවන් ජීවත් වන ප‍්‍රදේශයකි. පියුරිටන් වනාහි ‘පරිශුද්ධ බව’ කෙරෙහි අසීමිත යොමුවක් සහිත දැඩි නීති රිති වලින් තම විශ්වාසිකයින් බැඳ තබන කිතුනු සභාවකි.

නව කතාවේ කතා නායිකාව හෙස්ටර් පි‍්‍රන්ග් නම් ස්තී‍්‍රයකි. ස්ත‍්‍රියක ප‍්‍රධාන චරිතය ලෙස ගෙන පාපය, අවනීතිය, මිනිස් හෘද සාක්ෂිය ගැන සාකච්ඡා කළ ලොව ප‍්‍රථම නව කතාව ලෙස ද මෙය විචාරකයින්ගේ පැසසුමට ලක්ව තිබේ.

හෙස්ටර් පි‍්‍රන්ග් නව එංගලන්තය ප‍්‍රදේශයට පැමිණෙන්නේ එංගලන්තයේ සිටයි. ඇය පැමිණෙන්නේ ඇයගේ සැමියා කඩිනමින් මෙහි ළඟා වන නිසාය. නමුත් ඔහු (රෝජර් චිලිංවර්ත්) එහි පැමිණෙන්නේ තම රූමත් බිරිඳ වරදේ බැඳි, දඬුවමට නියම වු පසුවය. විවාහක ස්වාමි පුරුෂයෙකු නොමැතිව හෙස්ටර් පි‍්‍රන්ග් ගැබ් ගනී. දැඩි පියුරිටන් නීති සංග‍්‍රහය අනුව ඇයට හිමිවන දඬුවම ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ වීමට නියමිතය. කථාව ඇරඹෙන්නේ එතැනිනි. පළමු පරිච්ඡේදයේ මාතෘකාව ‘හිර ගෙදර දොරටුවයි. ඒ හැඳින්වීම ම ප‍්‍රබලය. බරසාර ද්වාරයක් ඉදිරිපිට සෙනඟ සේනාව රැස් කරමින් සිටියි’ කුමකටද? සිරගෙදර ද්වාරය ඇරෙන තෙක්ය. ප‍්‍රසිද්ධියේ වරදට පත්කරන්නට යන අයෙකු ජනතාව ඉදිරිපිට රැගෙන එන තෙක්ය. මේ එන සේනාව තුළ පිරිමි මෙන්ම ගැහැණුද සිටිතියි, නව කතා කරු විශේෂකොට දක්වයි. මානව වාර්ගයා ස්තී‍්‍ර පුරුෂ බේදයකින් තොරව වරදකරුවන් දෙස බලන ආකාරය මෙහි නිරුපිතය.

‘මේ ප‍්‍රදේශය නව ජනපදයකි. නිර්මාතෘවරුන් මෙය නිර්මාණය කරන ලද්දේ මිනිසත් යහගුණ සහ සන්තුෂ්ඨිය ගැබ් කරගත් පාරාදිසයක් ලෙසින්ය.’

කිතුනු ඇදහීම අනුව දෙවියන් වහන්සේ මේ ලෝකය මවන්නේද එවන් පාරාදීසයක් ලෙසයි. එහෙත් පාපය මගින් මිනිසා එම පාරාදීසය අහිමි කරගනියි. පාපයෙන් මිනිසා ගලවා ගැනීමට මිනිසා නිර්මාණය කරන ආගම හා නීතිය මිනිසාට අවනීතියක් වන ආකාරය ගැන කතා පුවත ඉතිහාසය අපට පෙන්වා දෙයි. මේ එවන් කතාවක ඇරඹුමකි.

ඒ සා උස් වු අරමුණින් ගොඩනගන ලද පුරවරයක සංඛේත තුනක් නව කතා කරු තම ප‍්‍රථම පරිච්ඡේදයේ සඳහන් කරයි. සූසාන භූමිය, සිපිරිගෙය, දෙව්මැදුර. සිපිරිගෙයි දොරටුවේ එක් පසෙක වැඩුනු රෝස පඳුරකි. එකි රෝස පඳුර ප‍්‍රබල සංඛේතයක් ලෙස කතා කරු ඉස්මතුකරයි.

‘‘රෝස වැල රතු කැට වන් සුමුදු මල්වලින් වැසි තිබුනේ සිරගෙය තුළට පිවිසෙන සිරකරුවන්වන්ටත් ඉරණම් ගමන යන අපරාධකරුවන්ටත් තම සියුමැලි සුවඳ හා සුන්දරත්වය පිරිනමා සොබාදම් මවගේ හඳ ගැඹරේ ඔවුන් උදෙසා සානුකම්පාව සහ කරුණා ගුණය පවතින බව හඟවන්නට මෙන්ය’’.

මේ රෝස පඳුරේ උපත පිළිබඳ ජන ප‍්‍රවාදයක්ද කතා කරු අපට ඉදිරිපත් කරයි.

‘‘මුවින් මුව කියවුනේ සාන්තුවරියක බවට පත් වු ඈන් හඩින්සන් මේ සිපිරිගෙයට පිවිසෙනු පිණිස දොරකඩින් දෙපා තබද්දි රෝස පැළය එතුමියගේ දෙපා යටින් මතු වු බවයි’’

කතාකරු අපට පවසන්නේ වරදකාරියක ලෙස සිරගත කල සාන්තවරියකගේ ආනුභාවය මේ රෝස මල් වලින් වහනය වන බවයි. සැබැවින්ම ඔහු මේ කතාව හඳුන්වන්නේද මේ රෝස පඳුරෙන් පාඨකයාට පුදන පුෂ්පයක් ලෙසයි. සිපිරිගෙයි දොර අරින තෙක් බලා සිටින ස්තී‍්‍ර හා පුරුෂ සෙනඟ සේනාව පිළිබඳ මේ ප‍්‍රකාශය කතාවේ තදාත්මය හකුළුවා දක්වයි.

ආගම සහ නීතිය යන ද්විත්වය එකම ආකාරයෙන් පිළිපදින්නා වු මේ මනුෂයන් අතර මෙවන් පෙනුම විරල දර්ශනයක් නොවේ. ඉතා සුළු වේවා, බරපතල වේවා, ඔවුන්ගේ සමාජයේ විනය කි‍්‍රයාමාර්ග අතිශය තදබල ආකාරයෙන් කි‍්‍රයාත්මක වන්නේය. මේ ආකාරයේ නරඹන්නන් වෙතින් කිසිම ලෙසකින් අපේක්ෂා කළ හැකි සානුකම්පිත හැඟුම් ඉතාමත්ම අල්පය, තවද, චූදිතයා ලබන දඬුවමට අමතරව මෙවන් නරඹන්නන් වෙතින් එල්ලවන නින්දා අපහාස, පරිභව අප‍්‍රමාණය. එහි කෲර බව මරණ දඬුවමට කිසිසේත් දෙවෙනි නොවේ.

ඒ කාලයට සාපෙක්ෂව ගත් කල ස්තී‍්‍රන් මෙවන් අවස්ථාවක් නැරඹීමට පැමිණීම හා අදහස් දැක්වීම විරල බව පෙනි යා හැකි වුවත් පැමිණ සිටින අයගේ කතා තුලින් ස්තී‍්‍රයක පිළිබඳ ස්තී‍්‍රන්ගේ විනිශ්චයේ ස්වභාවය කදීමට නිරූපනය කරයි.

‘‘හාමිනේලා මේ අහගන්න. මම මේ කියන්නේ මගේ හිතට හිතෙන දෙයක්. අපි දැන් තලතුනා උදවිය. ඒ වාගෙම නොවරදවා පල්ලි යනවා. සමාජයේ නම්බුකාර විදියට ඉන්නවා. ඉතින් මේ හෙස්ටර් පී‍්‍රන් වාගේ දුෂ්ට ගැහැනුන්ට දඩුවම් දීමට මැදිහත් වීම අපි මේ සමාජය වෙනුවෙන් කරන සත් ක‍්‍රියාවක්. ඉතින් මට කියන්න ඔය ඇත්තන්ගේ පොදු අදහස. දැන් මේ ස්ථානයට පැමිණිලා ඉන්න අප පස් දෙනා අනුමත කරනවාද නඩුකාර උන්නාන්සේලා දීපු තීන්දුව?’’

තවත් එකියක් කතා කළාය.

”එකිගේ පූජකතුමා ඩිමෙස්ඬේල් ස්වාමිනේ. දැන් උන්නාන්සේ ඉන්නේ බොහොම තදින් හිත රිදිලා. මේ වාගේ නින්දිත වැඩක් උන්නාන්සෙගේ දායක පිරිස අතරින් කෙනෙක් කළාය කියලා....”

ගැහැනුන් අතර ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන්නේ තරුණ, අවංක, කැපවු පූජකයෙකු වු ඩිමෙස්ඬේල් පියතුමාගේ පල්ලියේ දායකයෙකු අතින් මේ වරද සිදුවීමයි. එමගින් ඇය ඒ භක්තිමක් පූජක තුමාටත් අපහසයක් කල බවයි. තව තැනක මේ බව මෙසේ ප‍්‍රකාශ වේ.

”අර දෙවි කෙනෙක් වාගේ ඉන්න ඩිමේස්ඬේල් පියතුමාගේ මීසමේ තමයි මේ කරුණ වෙලා තියෙන්නේ’’

හෙස්ටර් ප‍්‍රින්ග් කර ඇති වරද වන්නේ පියෙකු නොමැති දරුවෙකු (අවිවාහකව සිටියදි) පිළිසිඳ ගැනීමයි. ඇයට පූජක තුමන්ලා හා විනිසුරු තුමා නියම කරන ලද්දේ සුළු දඩුවමකි. යම් කිසි කාලසීමාවක් වේදිකාවක් මත ප‍්‍රසිද්ධියේ රැඳි සිටිමත් ඉන් අනතුරුව සෑම විටම තම ඇඳුමේ පපුවට කෙලින් ගින්දර පිටවන සලකුණක් සහිතව ජීවත් වීමයි. පියුරිටන්වාදි සන්දර්භය තුළ මේ රූමත් ළඳ තම පපුවේ එකි පළඳනාව සහිතව වේදිකාවේ පෙනි සිටින විට කතෝලිකයෙකු සිටියා නම් දෙව් මවුන් ලෙස දැකිය හැකි යැයි කීමෙන් කිතුනු නිකායිකයින් අතර දැක්මේ වෙනස මෙන්ම මරිය තුමිය සමඟ වරදකාරි සැසඳීමක් ද සිදු කරයි.

මේ පියුරිටන් සෙනඟ අතර පාප්වාදියෙකු සිටියා නම් ආකර්ෂණීය ඇඳුමින් සහ රූ සිරියෙන් යුතු වු ද, දරුවකු ළෙහි ගන්වා ගෙන සිටියා වුද, මේ සොඳුරු කාන්තාව, බොහෝ කීර්තිමත් චිත‍්‍ර ශිල්පින් විසින් සිතුවමට නඟන ලද දෙව් මව් රුවක් සිහිගන්වන්නට ඉඩ තිබිණි. එනමුදු එකම වෙනස වුයේ දෙව් මව්ගේ මාතෘත්වය පාරිශුද්ධ වීමයි. ඇගේ බිළිඳා මොලොවට පහළ වුයේ මෙලෝ සතහට ගැලවීම ළඟාකර දීමටය. එනමුදු මෙතැන්හිදි සිදුව ඇත්තේ අනෙකකි. මනුෂ්‍යත්වයේ උතුම් බව කැළැල් කරමින් ගැඹුරු වු පාපයක් සිදුවෙලාය. මේ කාන්තාවගේ රූපශී‍්‍රයේ දීප්තිය ලෝකයේ අඳුර හේතු කොටගෙන වියැකි ගොසින්ය. ඇය විසින් බිහි කරන ලද බිළිඳා ඒ අඳුරේ අතරමං ව ගොසින්ය.

පව්කාරයා යනු පීඩිතයෙකි. කි‍්‍රස්තියානි දැක්ම අනුව පව්කාරයා වෙත දෙවිඳුන් කරුණාව දක්වන්නේ ඔහුගේ මෙම පීඩිතභාවය නිසාය. පීඩිතයා කෙරෙහි නැඹුරු වු දෙවියන් පසෙකලා පීඩිතයාව තලා පෙලෙන ආගම දෙවියන්ගෙන් කොතරම් ඈතද? පව්කරුවෙකු මහජනයා විසින් ප‍්‍රසිද්ධීයේ තලා පෙලා දැමීම හා පරිභවයට ලක් කරමින් සමාවක් නොමැතිව දිගටම ජීවත් වීමට සැලසීම ගල් ගසා මරාදැමීමට වඩා කුරිරු නොවේද? එය වනාහි පීඩාවේත් පීඩාවකි.


සිපිරිගෙයි දොරකඩ සිට වෙළඳපොල දක්වා සෑහෙන දුරක් නොතිබිණ. එනමුදු සිරකාරියට නම් එය ලොකු දුරකැයි හැඟෙන්නට ඇත. ඈ කෙතරම් ශක්තිමත් අයෙකු ලෙස පෙනුනද තමා වටකොට ඇති සෙනඟ සේනාව නිසා ඇගේ හදවතට දැනුණු වේදනාව අප‍්‍රමාණ බැවිනි. ඇයට හැඟුණේ තම හදවත මහමඟට වැටී මේ සියලූ දෙනා විසින් එය පාගා දමනු ලබන නියාවකි. සැබැවින්ම පීඩිතයකු වර්තමානයේ තමා විඳ දරා සිටින වධ හිංසාවක උග‍්‍ර බව අවබෝධ කරගන්නේ එම අවස්ථාවේදීම නොවේ. ඉන් මතු හදවත පෙළන හැඟුම් සමුදාය හේතුකොට ගෙනය.

ඇය වේදිකාවේ ප‍්‍රදර්ශනය වන අතර මෙතෙක් කල් පමා වු ඇගේ සැමියා පැමිණේ. ඔහු ඇයවද ඇය ඔහුවද හඳුනාගනි. එහෙත් දෙදෙනාම ඒ බව නොපවසයි. ඇගේ සැමියා රැස් වු අයගෙන් කතාව අසාගනි. ඔහුගේ නිගමනය වන්නේ එය බුද්ධිමත් තීන්දුවක් බවයි.

‘‘ඉතාම බුද්ධිමත් තීන්දුවක්’’ ආගන්තුකයා කීවේ බැරෑරුම් ලෙස හිස නැඹුරු කරමින්ය. ‘‘ඉතින් මේ ආකාරයට එයා ජීවමාන දේශනාවක් වේවි. අර පළඳනාව එයත් එක්කම වළ පල්ලට යාවි. මට තියෙන වේදනාව මේකයි. එයත් එක්ක මේ වරදට බැඳුණ අනෙක් පුද්ගලයා අද මේ වේදිකාව උඩ නැති එකයි. ඒත් කවදා හරි ඒ රහස එළි වේවි. ඒ රහස එළි වේවි. ඒ රහස එළි වේවි.

නඩුකාරයා මෙන්ම පූජක තුමන්ලාද ඇගේ දරුවාගේ පියාව අනාවරණය කරගන්න ගන්නා උත්සහය සාර්ථක නොවේ. ඇය එම රහස හෙලි නොකරයි. නව කතා කරු බයිබලයේ එන පව්කාර ස්තී‍්‍රයගේ කතාවට වඩා ප‍්‍රබල තැනකට තම කතාව රැගෙන යයි. වරදේ බැඳී සිටියදීම අල්ලාගෙන ඇවිත් ගල් ගසන්නට නියම වු බයිබල් කතාවේ ස්තී‍්‍රය සමඟ වරදේ බැඳි සිටි පිරිමියා ගැන කිසිවක් ඉස්මතු නොවේ. මෙම කතාවේදි ස්තී‍්‍රය මෙන්ම එයට සම්බන්ධවූ පුරුෂයාද ප‍්‍රබල ලෙස නිරුපණය කරයි. හෙස්ටර්ගේ සැමියා නරඹන්නන්ගෙන් විමසන්නේ කව්ද පිරිමියා යන්නයි. එයට නරඹන්නෙකු දෙන පිළිතුර වැරදි කිරිම ගැන කි‍්‍රස්තියානි හෘද සාක්ෂිය කදිමට සම්පින්ඩනය කරයි.

‘වැරදිකාරයාත් මෙහෙම ඉඳගෙන මේ කටයුත්ත දිහා බලාගෙන ඇති, නමුත් එයාට අමතක ඇති දෙවියන් වහන්සේ තමාව දකින බව’’

හෙස්ටර් පී‍්‍රන්ගේ පාපොච්චරණය අසමින් මෙහි වරදකාරයාව අනාවරණය කර ගැනීම බාර වන්නේ ජනයා දෙව් කෙනෙක් වන් යැයි සලකන තරුණ ඩිමෙස්ඬේල් පියතුමාටය. මේ වනාහි මිනිස් අභ්‍යන්තරය හා මතුපිට අතර මිනිසෙකුට මුහුණ දිය හැකි දරුණුම පරීක්ෂා කර බැලීමකි. මන්දයත් අප කතාව කියවා නිම කරන්න ආසන්න වන විට වරදකරු අන් කවරකුත් නොව මේ තරුණ පියතුමා බව දැනගන්නා නිසාය. ඔහු ඒ බව තම හෘද සාක්ෂිය තුළ දැන දැනත් පරීක්ෂණය සිදු කිරීම කොයිතරම් අපහසු අරගලයක් වන්නේද?

‘‘සහෝදරතුමා, මැයට කතා කරන්න. මේ මොහොත ඇගේ ආත්මයට ඉතා වැදගත්. ආණ්ඩුකාරතුමා විසින් මැය ඔබට බාර කරනවා. සත්‍යය ප‍්‍රකාශ කරන්නට ඇය මෙහෙයවන්න’’

ඩිමෙස්ඬේල් සහෝදරතුමා හිස නැඹුරු කරගත්තේ නිහඬ වු යාච්ඥාවක යෙදෙමින්ය. අනතුරුව එතුමා ඉදිරියට පැමිණියේය.

‘‘හෙස්ටර් පී‍්‍රන්’’ එතුමා ආමන්ත‍්‍රණය කළේ සඳළුතලයේ සිට ඉදිරියට නැඹුරු වී ඇගේ දෑස් දෙස සෘජුව ම බලමින්ය.

‘මේ උතුම් මනුෂ්‍යා කී දේ ඔබට ඇහෙනවා. මගේ රාජකාරියේ ස්වභාවය ඔබට පෙනෙනවා. මේ ක‍්‍රියාවෙන් ඔබගේ ආත්මයට සහනයක් ලැබේවි යැයි ඔබ සිතනවා නම්, දඬුවම නිසා ඔබගේ ගැලවීම සාර්ථක වේයැයි ඔබ සිතනවා නම්, ඔබත් සමඟ පාපයේ ගැලූණ, එමෙන්ම ඔබ සේම සිතින් දුක් විඳින ඔහුගේ නම ප‍්‍රකාශ කරන්න. අනුකම්පාව හෝ ස්නේහය නිසා ඔහු ආරක්ෂා කරන්න එපා. මා විශ්වාස කරන්න. හෙස්ටර්, මේ වරද සඟවාගෙන මුළු ජීවිත කාලයම සිතින් දුක් විඳිනවාට වඩා, තමන් ඉන්නා තැන ඉතාම ඉහළ ස්ථානයක් වුණත් එතනින් පහළට බැහැලා ඔබ ළගින් සිට ගන්න හැකි නම් ඒ පුද්ගලයාට වඩාත් සැනසීමක් ලැබේවි. දැන් ඔබ මේ ආකාරයෙන් නිහඬව සිටීමෙන් කරන්නේ තවත් වරදක්. ඔහු කළ වරදට අමතරව කුහකයෙකු වෙන්නටත් ඔබ දිරි දෙනවාද? දෙවියන් වහන්සේ ඔබ මෙවන් ප‍්‍රසිද්ධ අවමානයකට බඳුන් වීමට නියම කරලා තියෙනවා. ඒ අනුව ඔබගේ අභ්‍යන්තරයේ ඇති නපුරු පහත් බව හා බාහිර වශයෙන් විඳින නින්දාව පළවා හරින්න අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. තමා කල වරද පිළිගැනීමට ධෛර්යය නැති ඔහු ගැන තව දුරටත් සිතන්න එපා. දැන් ඔබේ දෙතොල් අසලින්ම මේ තියෙන්නේ ඉතාම තිත්ත වු එහෙත් පෝෂණයෙන් පිරුණ බඳුනයි’’

තරුණ පූජකවරයාගේ වෙව්ලන හඬ ඉමිහිරිය, ළගන්නාසුළුය, ගැඹුරුය, බිඳි ගොසින්ය. ඔහු සෘජුව නොපවසා හැඟ වු දෑ සියලූ හදවත් සසල කළේය. සානුකම්පාව ජනිත කළේය. හෙස්ටර් ගේ ඇකයේ සිටි බිළින්දියට පවා ඒ බව දැනුණා සේය. ඈ තම දෙනුවන් විදා පූජකතුමා දෙස බලා තම සිඟිති දෑත් එසවුයේ දුකත් සතුටක් මුසුව ගිය මිමිණිල්ලක් සමඟින්ය. ස්වාමිතුමාගේ වදන් කෙතරම් බලගතු වී යත් කාගෙත් විශ්වාසය වුයේ හෙස්ටර් පී‍්‍රන් වරදකරුගේ නම පවසාවී කියාය. එසේ නැතිනම් වරදකරු තමා සිටි උස් හෝ පහත් තැනින් ඉදිරියට ඇවිදින් ඈ අසලින් වේදිකාව මත සිටගනිවි කියාය.

හෙස්ටර් හිස සැලූවාය.

‘‘ස්තී‍්‍රය, ඔබට දෙව් පියාණන්ගේ දයාවෙන් ඔබ්බට යන්න නොහැකියි’’ විල්සන් දේවගැතිතුමා මුර ගෑවේ පෙරට වඩා දැඩි ලෙසය. ‘‘ඔබ කියන දේ ස්ථීර කරන්න. ඔය පුංචි දරුවාටත් හඬක් දීලා තියෙනවා. ඉතින් ඔය නම කීවා නම් හොඳයි. ඔබේ පශ්චාත්තාපය අනුව ඔය පපුව මත තිබෙන ගින්දර පළඳනාව ඉවත් කරගන්න අවස්ථාව තිබෙනවා.

‘‘නෑ. කවදාවත්ම කියන්නේ නෑ’’ හෙස්ටර් පිළිතුරු දුන්නේ විල්සන් ස්වාමිතුමා නොව තරුණ පූජකවරයා දෙස බලමින්ය. ‘‘අවමානය ඉතා තදින්ම සටහන් වෙලා ඉවරයි. එය ඉවත් කරන්න ඔබතුමාට බැහැ. මම මගේ වේදනාව සමඟම ඔහුගේ වේදනාවත් දරාගන්නම්.’’

‘‘කතා කරපන් ගෑනියේ’’ තවත් කටහඬක් මතු වුයේ වේදිකාව අසලින්ය. එහි ස්වරය සීතලය. දරදඩුය. ‘‘කතා කරපං, ඔය දරුවාට තාත්තා කෙනෙක් ලබලා දීපන්’’

‘‘මම කතා කරන්නේ නෑමයි’’ හෙස්ටර් කීවාය. ඈ මළමිනියක් මෙන් සුදුමැලිව ගියේ ඒ කටහඬ හඳුනාගත් නිසා පළ වු ප‍්‍රතිචාරයක් වශයෙනි. ‘‘මගේ දරුවට ස්වර්ගයේ වැඩ සිටින පියාණන් ඉන්නවා. මනුෂ්‍ය ලෝකයේ පියා කෙනෙක් අවශ්‍ය නෑ’’

‘‘ඈ කියන්නේ නෑ’’ ඩිමෙස්ඩේල් සහෝදරතුමා මතු කළේය. සඳලූතලයේ සිට තවමත් පහළට නැඹුරුව සිටි එතුමා පපුව මත අත තබාගෙන තම ආයාචනයේ ප‍්‍රතිඵල ලැබෙනතුරු මෙතෙක් වේලා බලා සිටියේය. ඔහු ආපසු හැරුණේ දිගු සුසුමක් සමඟින්ය. ‘‘මේ ගැහැනියගේ හදවතේ තිබෙන්නේ හරිම පුදුමාකාර ශක්තියක්. පරිත්‍යාගශීලීබවක්. ඈ නම් කවදාවත්ම ඒ ගැන කියන්නේ නෑ’’

ගින්දර පළඳනාව නව කතාව තුල හෙස්ටර් පී‍්‍රන් හා ඩිමෙස්ඬේල් පියතුමාගේ හෘද සාක්ෂියේ අරගලය දිග හැරෙන ආකාරය අපව ගැඹුරු භාවනාවක් වෙත රැගෙන යයි. එය ආගම හා නීතියේ සැඟවුනු නපුරත්, මිනිස් හෘද සාක්ෂියේ සොබාවයත් අපට අනාවරණය කරයි.

නතෑනියල් හෝත්‍රෝන්


මහින්ද නාමල් 

Monday, March 28, 2016

ආදරය සොයන බත්තලංගුණ්ඩුව


මංජුල වෙඩිවර්ධනගේ මූණුපොත් පිටුවෙනි.

බත්තලංගුණ්ඩුව නව කතාව තුළ නිරූපිත
මෙරට කි‍්‍රස්තියානි සංස්කෘතිය හා කිතු දහමේ සාරාර්ථය

සාහිත්‍ය කෘතියක් විචාරයේදි හෝ ඇගයීමේදි සාමාන්‍යයෙන් සලකා නොබලන මානයක් ඔස්සේ මංජුල වෙඩිවර්ධනගේ කුළුදුල් නව කතාව වන බත්තලංගුණ්ඩුව දෙස බැලීම මේ කෙටි ලිපියේ අරමුණයි. එනම් බත්තලංගුණ්ඩුව නව කතාව තුළ කොයිතරම් දුරට මෙරට කි‍්‍රස්තියානි සංස්කෘතිය හා කිතු දහමේ සාරාර්ථයන් නිර්මාණාත්මකව ඉදිරිපත්ව තිබේද යන කාරණාව විමසීමයි.

මංජුලගේ කි‍්‍රස්තියානි දැක්ම ස්ව අධ්‍යයනය, නිරීක්ෂණය හා ස්ව අත්දැකිම් තුළින් උපන් පරිකල්පනයෙන් නිර්මාණය වුවකැයි මම සිතමි. බත්තලංගුණ්ඩුව නවකතාව තුළ මංජුල බහුතරය කිතුනුවන් වන දූපත් ගත වු ධීවර ප‍්‍රජාවකගේ ජීවන විලාසය තමා අභිමත නිදහස්කාමි ජීවන දර්ශනය ඇසුරින් චිත‍්‍රණය කරයි.

එහිදී ඔහු කථාවේ පාත‍්‍ර වර්ගයාගේ සිතුවිලි හා කථාබහට ශුද්ධ වු බයිබලයේ පාඨ, ඡේද, සිදුවීම් උපුටා ගනිමින් කරන විග‍්‍රහයන්, මත දැක්වීම් අප ඉහත කි පරිදි ඔහු තුළ ගොඩනැගි තිබෙන ස්වාධීන චින්තනයට අයත් වේ.

නව කථාවේ කතා නායකයා වන ඇන්ටනී කොළඹ සිට බත්තලංගුණ්ඩුව දූපතට යන්නේ තම පියාව කොළඹට කැඳවාගෙන ඒමටය. ඒ ඔහුගේ විවාහය ස්ථීර කරගනු පිණිස විවාහ වීමට සිටින පෙම්වතියගේ (?) මව්පියන් ඇතූළු ඥාතින් හට තමා  ඕපපාතිකයෙකු නොවන බව තහවුරු කිරිමට ය. නමුත් ඇන්ටනී තුළ විවාහය ගැන ඇත්තේ දෙගිඩියාවකි. ඔහු විවාහය දකින්නේ අවුලක් ලෙසිනි. ඒ අවුල වෙත ඇති අවිඥානික කැමැත්ත ඔහු තුළම ප‍්‍රතිරෝදයකි.

‘‘ ආදම් හා ඒවාගේ සිට මගේ අම්මා හා තාත්තා තෙක් වන ජීවිත කියවීමෙන් මට විවාහය වහකඳුරු මෙනි. ඒත් ඒ කඳුරු ගෙඩියෙන් කි‍්‍රකට් ගැසීමට ඇති අවිඥානික සිහින සිතුවිල්ල මගේ සියලූ මතවාද සුන්නදුලි කරවයි.’’

ශුද්ධ වු බයිබලයේ උත්පත්ති පොතේ එන ආදම් හා ඒවගේ පුවත ඇසුරින් විවාහය පිළිබඳ අදහස් මාලාවක් ඇන්ටනිගේ සිතුවිලිවල දවටා ඉදිරිපත් කෙරේ.

‘‘...විවාහය විහිලූවක් බව ඇත්තකි. ඒත් ඒ විහිළුවෙහි ගිලීයමින් ජීවිත කාලය ම ඉකිබිඳීමට මිනිසා තුළ ඇත්තේ අප‍්‍රමාණ කැපවීමකි. ඉකිබිඳිම, සිනහව ලෙස තර්ක කරිම වරු ගණන් එක දිගට නොකා නොබී වුව කළ හැක්කකි. පේ‍්‍රමයේ ව්‍යාජ සර්පයා ලෝකය මැවු දා සිටම හදවතේ වෙලී එයටම දෂ්ඨ කරමින් සිටියේය. පේ‍්‍රමයේ නග්න බව වසා ගැනිමට අත්තික්කා කොළ අතුවලට නොහැකි බව ආදම්ට පසක් වන විට පෙරහැර ගොසිනි. ආදම් දත් ගගහ සිටි දැවැන්ත ඇපල් ගෙඩිය විසි කර දැමීය. ඒදන් උයනෙන් ගලා ගිය ඇපලය උයනින් පිටතදී යුප‍්‍රටීස්, ටයිගී‍්‍රස්, පිෂොන් හෝ ගිහොන් යන ගංගාවන්ගෙන් කුමක් ඔස්සේ ඉදිරියට ගියේ දැයි කිසිවෙක් නොදනිති...’’



තහනම් ගහේ ගෙඩිකෑම, මිනිසා නග්න බව දැකිම ආදි බයිබලීය කථා පුවතේ එන සංකල්ප සාමාන්‍ය ලෝක ව්‍යාවහාරය තුළ යෙදෙන්නේ ද නිත්‍යානුකූල බිරිඳ හෝ සැමියා හැර වෙනත් අයෙකු සමඟ ලිංගික සබඳකමක් පැවැත්වීම හැඟවීමටයි. නමුත් එම සංඛේතාර්ථවලින් හැඟවෙන සධාර්මික අරුත් ඊට සපුරා වෙනස්  ගැඹුරකින් යුක්ත වේ.

ඒවා ග‍්‍රහණය කර ගැනීම සඳහා බයිබලයේ එන විමුක්ති දැක්මට නැඹුරුවු අධ්‍යයනයක් අවශ්‍ය වේ. එවැනි අධ්‍යයනයක් මංජුල සතු වුවා නම් ඇන්ටනීගේ සිතුවිලි සමුදාය තුළින් ගැඹුරු ආලෝකයක් පරාවර්ථනය වන්නට ඉඩ තිබිණි.

ඇන්ටනීට වහ කඳුරු වන විවාහය අද මිනිස් වර්ගයා හටම අවුලක් බවට පත් වන සැබෑ හේතුව ඇන්ටනීට හමු නොවේ. එය හමුවීමට ඉඩක් නොමැත්තේ එය අපට හමුවන්නේ විවාහ ජිවිත කියැවීම ඉක්මවා ගිය සමාජීය කියවීමක් මගින් වන නිසාය. එවැනි කියැවීමක් ඇන්ටනිට හමු වී තිබුණේ නම් ආදම් දත් ගගහ හිටි ඇපල් ගෙඩිය ඇපලෝ දෙවියන්, ඇපලෝ යානය හෝ ඇපලෝ රෝහල තුළ සොයන්නට අවශ්‍ය නොවේ.
ඇන්ටනී තමා හා විවාහ වීමට කැමැත්තෙන් සිටින පෙම්වතිය (?) ති‍්‍රසා ව උපමා කරන්නේ සැලෝමිටය.


‘‘..පේ‍්‍රමාලිංගනයේ උච්චස්ථානයකට එළැඹි මොහොතක වුව මම ඇයට මාරදූතිකාවයි පවසමි. එය සුන්දර ආමන්ත‍්‍රණයක් නොවෙතැයි කවුරු පවසත්ද? මට මගේ තී‍්‍රසා සිහිවන හැම නිමේෂයකම හොරෝද් රජු විසින් කරකාර බැඳගත් ඔහුගේම සොහොයුරාගේ බිරිඳ වු හෙරොදියාස් ගේ දියණියගේ මුහුණ සිහිපත් වේ. ඒ මන්දැයි මම නොදනිමි. එය මට නොවැටහේ. සන්ධ්‍යා අල්ලාප සල්ලාපයක අතරතුර මම මේ බව ඇයට කීවෙමි...’’


‘‘මට ඔයාව පේන්නේ සැලොමි රාජ කුමරිය වගේ’’

ඇය බෙහෙවින් සතුටු වූවාය. රජ දියණියක් වීමෙන් සංතෘප්තව දෙවුර හකුළා ගත්තීය. මා සුරත ඇගේ සියුමැලි දෑතින් වැළඳ ගත්තීය. නැගිට ගෙට ගිය ඈ මොහොතකින් ස්ට්‍රෝබෙරි වීදුරුවක් රැගෙන මා වෙත එමින් සිටියාය. මට ඇය පෙනුණේ ස්නාවක ජුවාම් තුමාගේ කැරලිකාර හිස බන්දේසියේ තබාගෙන එන සැලෝමි සේ මය. මම මහත් සේ තැති ගතිමි. බය භිරාන්ත වුයෙමි. එතැන් සිට ඒ ඇයම බව මට ප‍්‍රත්‍යක්ෂ විය. කුමක් කරන්නද? ඒවා දුන් පේ‍්‍රමයේ ඇපලය රස බැලූම් ආදම් සේ මම ස්ට්‍රෝබෙරි තොල ගන්නට පටන් ගතිමි....’’

ති‍්‍රසාව සැලෝමිට උපමා කරමින් ඇන්ටනි දක්වන අදහස් අතිශයින් කාව්‍යමය වේ. අදාල අවස්ථාව හා ප‍්‍රස්තුතය විග‍්‍රහ කිරිමෙහි ලා ප‍්‍රබල ‍ෙඖචිත්‍යයක් දක්වයි. මේ ප‍්‍රාබල්‍යය හොඳින් දැනෙනුයේ ස්නාවක ජුවාම් හා සැලෝමිගේ පුරාවෘත්තයන් හොඳින් හඳුනන අයෙකු තුළය. මෙහිදිද ආදම්ට ඇපලය දුන් ඒව හෙවත් ස්තී‍්‍රය ම වරදෙහි වග උත්තරකරු කරන ජනපි‍්‍රය මතවාදය අතික‍්‍රමණය කිරිමට ඇන්ටනීට නොහැකි වීමද අප පෙර කී දහමේ විමුක්ති දැක්ම හා නිසි සමාජ විග‍්‍රහය අහිමි වීමේ ම ප‍්‍රතිඵලයකි.

මව මිය ගිය පසු පියාද ගමෙන් පිටවී දූපත් ගතවු පසු කුඩා ඇන්ටනි ගත කළ එලොවටත් මෙලොවටත් නැති ජීවිතය ගෙනහැර දැක්වීමට යොදා ගන්නේ පරලොව ජිවීතය ගැන විවාදිත සම්ප‍්‍රදායික කිතුනු සංකල්පයකි.

‘‘..අම්මාගේ නිසල දෙණට ද උර දුන් තාත්තා අට දොහේ දානයත් සමඟම යළිත් මුන්නක්කරෙන් දුරින්භූත වී තිබුණි. ඉනික්බිති මම ගෙහන්නාවත් පාරාදීසයත් අතර වු ලිම්බෝවේ සැරිසරනා අනගාමික ධර්මිෂ්ඨයෙකුගේ තත්වයට පිරිහෙළනු ලදිමි...’’

ස්වර්ගයත් නරකාදියත් අතර පවතින ලම්බෝගිනිස්ථානය නම් වු කි‍්‍රස්තු ධර්මයේ නැති කිතුනු සම්ප‍්‍රදායේ ඇති සංකල්පය ඇතැම් කිතුනුවන්ට පවා අද දවසේ ආගන්තුකය. බත්තලංගුණ්ඩුව නවකතාව කියැවීමේදි එහි ඇතැම් වැකිවල අරුත් ග‍්‍රහණය කර ගැනිමට උදෙසා බයිබලීය පුවත ගැන මෙන්ම කි‍්‍රස්තියානි ඉගැන්වීම් ගැනද පුළුල් අවබෝධයක් තිබීම අවශ්‍ය වේ.

කිතු දහමට අයත් සධාර්මික කරුණු පිළිබඳ බත්තලංගුණ්ඩුවේ අන්තර්ගත සිතුවිලි සමස්තය සලකා බැලීමේදි කතා පුවතට හානියක් නොවන ප‍්‍රබල බවක් පෙන්නුම් කළද ඇතැම් සීමා සහිතකම් සලකුණු වී පවතී. නමුත් කි‍්‍රස්තියානි සංස්කෘතියට අයත් හෙවත් ජනපි‍්‍රය කිතු දහමට අයත් කරුණු ඇසුරින් බත්තලංගුණ්ඩුව නව කථාවේ එන පාත‍්‍ර වර්ගයා දක්වන අදහස් කරුණු කාරණා විග‍්‍රහයන් අතිශය නිර්මාණාත්මකය. සැබැවින්ම මෙතෙක් ලාංකීය නවකථාව තුළ කිසිවෙක් එය මෙතරම් ප‍්‍රබලව යොදාගෙන නැත. ලාංකේය කි‍්‍රස්තියානිය ඇසුරු කොටගත් නවකථා අල්ප වන අතර එකී අල්පය වුව නිර්මාණාත්මක ගුණයෙන්ද හීන ය. එනයින් ගත් කළ එම විෂය ක්ෂෙත‍්‍රයෙහිලා බත්තලංගුණ්ඩුව පුරෝගාමි කෘතියෙකි.

ලිපියෙහි ඉඩ කඩ අනුව මෙකී දෙවන කරුණ සනාථ කරන නිදර්ශන කීපයක් පමණක් සලකා බලමි.

ඇන්ටනි සිය මව මිය යාම විස්තර කරන මේ ඡේදය බලන්න.

‘‘....කෙසඟ වී කෙසඟ වී ඉරටු වු ඇගේ ආදරණීය අතැඟිලි අතර කොන්තය පටලැවු දා පවා ඈ සදාකාලික නින්දෙන් අවදි වි ඇගේම නුවානයට සහභාගි වු බව මම දැඩිව අදහමි. ඇගේ භක්තිය ඒතරම්ම ශක්තිමත් විය...’’

මෙහිදි මව මිය ගිය දා වෙනුවට මංජුල යොදන අතැඟිලි අතර කොන්තය පැටලැවු දා යන්න අතිශය ප‍්‍රබල නිර්මාණාත්මක යෙදුමකි. කතෝලිකයෙකු මිය ගිය විට මළ මිනියේ දෑත් එකට එකතු කළ පසු ඒ දෑත් මත කොන්තයක් පටලවනු ලැබේ. ජීවත් ව සිටින අය කොන්තය තම ඇගිලි අතර තමා විසින්ම පටලවා ගෙන ජපමාලය උච්චාරණය කරයි. මෙහිදි පටලැවුයනු අනෙකෙකු විසින් කරන ලද්දකි. එය ඔහු/ඇය ට කළ නොහැකිය. මන්ද දැන් ඇය/ඔහු මිය ගොසිනි. මෙහි සඳහන් කොන්තය, නුවානය යන වචන කතෝලික සංස්කෘතියට විශේෂ වු ඒවාය.

කතෝලික සංස්කෘතියෙන් ජන ජීවිතයට එක් වු සුවිශේෂි අංගයකි මංගල්‍යයය. මංගල්‍යය යනු දෙව්මැදුර කැපකර ඇති සාන්තුවරයා, සාන්තුවරිය හෝ දෙව් මව් ගේ (ජේසුතුමාගේ මව )  උපත මරණය හෝ ස්වර්ගාරෝහණය වැනි සිදුවීමක් ජයෝත්සවයෙන් සැමරීමෙකි. සෑම කතෝලික පල්ලියකම වාර්ෂිකව මෙය පැවැත්වේ. මෙකි සැමරුම් ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නැංවෙන්නේ කිතු දහමේ මූලික හරයන් කනපිට හරවමිනි.

බත්තලංගුණ්ඩුව නවකථාව තුළ මංගල්‍ය සංස්කෘතිය කදිමට විවරණය කරන සිදුවීම් කීපයක් ඇන්ටනිගේ ගම වන මුන්නක්කරය හා බත්තලංගුණ්ඩුව පසුබිම් කරගෙන ඉදිරිපත් කෙරේ. වර්තමානයේ පවතින අන්තවාදි දෘෂ්ඨිකෝණ වලින් කලා කෘති සලකා බලන ප‍්‍රවණතාවය තුළ කෙනෙකුට මෙය කි‍්‍රස්තියානිය අපකීර්තියට පත් කිරීමක් ලෙස වුවද අර්ථ දැක්විය හැකිය.

‘‘.....ගමේ චණ්ඩියා මියගොස් සිටියේ පල්ලියේ මංගල්‍යය දිනක බමන රාතී‍්‍ර හෝරාවක ය. සොරොලේ ගිය මඟ දෙපස සිටුවා තිබු මුල් නැති උණ පඳුරක් යට කුරුසියට වෙඩි වැදුණු ඔහුගේ සද්දන්ත සිරුර සැතපී තිබුණි. සර්පයෙක් බඳුව උන පඳුරේ එතී හුන් විදුලිය බුබුළු වැලින් ගිලිහුණු ආලෝක කදම්භ කුරුසියෙන් මතු වු රුධිරය විටින් විට වෛවර්ණ කරවීය. කොටි හෝබා ඝාතනය නන්නාදුනන තුවක්කුකරුවනකුගේ මංගල්‍යය සැමරිම විය.


ප‍්‍රාතිහාර්යයේ මුනින්ද්‍රයා අනුමත නොකළ ද අහක බලා සිටි අනිවාර්ය අංග කිහිපයක් පල්ලියේ මංගල්‍යය හා බැඳි පැවතුණි. මංගල්ලයට පෙරදා රාතී‍්‍රයේ බොහෝ නිවෙස් පිළිකණුවල මාරාන්තික ඌ වකින් මොර දෙමින් බැඳ සිටින කණු වටේ දුවන, ඌරන් දැක්ක හැකි විය. ශුද්ධවර අන්තෝනිතුමන්ගේ ප‍්‍රාතිහාර්යයීය ජීවිතයේ ජන්මය සැමරිම වෙනුවෙන් උහු මරණදණ්ඩනයට කැප වී සිටියහ. ඇතැම් ගැඹුරු කි‍්‍රස්තු භක්තිකයන් පවා මුන්නක්කරේ වායුගෝලය පුරා පැතිරි ගිය ඌරන්ගේ මරණයේ විලාපයට ඇහුන්කන් දීගෙන සිටියේ ගීතිකාවකට සවන් දෙන්නා මෙන් ප‍්‍රමෝදයෙනි.


ඌරු මස් කා තෙල වැඩි වුවන් අත පා සරඹ කඩු පොලූ හරඹ දැක්වීම අතිශයින් ස්වාභාවිකබව සිතමි. තෙල් මන්ද මේරු මදු මතින් බමන ආගමික ශ‍්‍රද්ධාවන්තයින්ගේ අනාගාමික කෙරුවාවන්ගෙන් මංගල්ලේ සන්ධ්‍යාව ඒකාලෝක වේ. ගම් වැසියන් ද ගමට පිටින් පැමිණි ඥාති හිතමිත‍්‍රාදීන් ද මේ විකුම් නරඹන්නේ සොරෝලය නරඹන්නාට වඩා වැඩි ආස්වාදයකිනි. හර්බට් මාමාගේ ඝාතනයද එක් විශේෂ සැමරුම් ලක්ෂණයක් විය....’’

මංගල්‍ය සංස්කෘතියේ ප‍්‍රධාන යොමුව ඇත්තේ කෑම බීම ඇඳුම් පැළඳුම් වෙතය. සංගීත ප‍්‍රසංග රතිඤ්ඤා සැරසිලි වෙතය. භාරහාර ඉටිපන්දම් පත්තු කිරිම් වැනි ආමිස පූජාවන් වෙතය. සින්බෑඞ්ගේ ස්තී‍්‍ර විරෝධයේ පදනම ඔහුගේම බිරිඳ මංගල්‍ය දාට පෙරදින බල්ලෙකු විසින් සපා කෑම අමතක කොට බඩජාරි කමට මංගල්‍යය දා ඌරු මස් කෑම නිසා මිය යාමෙන් ඇති වු කෝපය හා ශෝකයයි.

‘‘....එදා මංගල්ලෙට ඉස්සරින්දා මේකිගේ කකුල බැල්ලියෙක් අල්ලලා. මේ බැල්ලි මට කිව්වෙත් නෑ. මොකෙකුටවත් කියලත් නෑ. පට්ට බැල්ලි. මේකි කඩුපහර කොළ ටිකක් කොටල කකුල බැඳගෙන හංගගෙන ඉඳලා...’’


පස්සෙන්දා මංගල්ලේ. මේකි ගෙදර සේරම කටයුතුත් කරලා, පල්ලියේ ගිහිල්ලා ඔය හොඳට හිටියේ. හිතේ හයිය තියෙන ගෑනි. ඒ වගේමයි උයන්ඩ පිහන්ඩත්. ඒකි මාළුවක් ඉව්වොත් ආයි ගොරොක් කෑල්ලත් කතෑකි. පිහන්ඩ වගේමයි කන්ඩත්. කනකොට බලා ඉන්ඩ ලෝබයි. ඌරු මස කිව්වොත් පෙරේතී. මංගල්ලේටත් නැති ඌරු මස් මොකටද? එදා අපෙ දිහාත් ඉස්ටුව. මේකිට හැන්දෑවේ අමාරු වුණා. මීගමු ගෙනිච්චා එච්චරයි. බඩජාරි හැත්ත...’’

ක‍්‍රිස්තියානි සංස්කෘතිය තුළ හැදෙන වැඩෙන ඉතා රළු මදාවි මිනිසෙකු තුළ වුවද විශ්වාසයේ අංශු මාත‍්‍රයක් ගැබ්වී පවති. මංජුල මවන කොටි හෝබා ගේ පච්ච දෙක මගින් ඒ බව මනාව ඉස්මතු කෙරේ.

‘‘.....එකල මුන්නක්රේ චණ්ඩියා වු කොටි හෝබාහෙවත් හර්බට් මාමගේ මවිලින් තොර පපුවේ වම් ළැමේ උල්දත් විදහා ගොරව ගොරවා සිටින ව්‍යාඝ‍්‍ර හිසක විසල් කැටයමක් දක්නට ලැබිණසියුම්ව ද සංයමශීලිව ද ළමැද සම රිදවා රිදවා නිමවා තිබු එම ව්‍යාඝ‍්‍ර හිස කෙතරම් රෞද්‍ර පෙනුමක් ගත්ත ද හර්බට් මාමගේ මුහුණට වඩා සෞම්‍ය විය. ව්‍යාඝ‍්‍ර හිසට යාබද දකුණු ළැම තීරය මත ජේසු පිහිටයියන්න දක්වා තිබුණේ කුඩා කැටයම් කුරිසියට පහළිනි. ඔලිව් ඉත්තක් තුඩින් ගත් පරෙවියෙකු, මසින් අනුන දකුණු බාහුවේ වසා සිටි අතර හර්බට් මාමා ඇවිදින වේගයේ දෑත් චලනයට අනුව පරෙවියා ඉගිළෙනු පෙනිණි....’’

කි‍්‍රස්තියානි සංස්කෘතියේ ජනපි‍්‍රය මතය තුළ මත්පැන් පානය වරදක් සේ නොදකියි. ඇන්ටනි සහ ගුණ්ඩුවේ අනිකුත් චරිත මත්පැන් පානය දකින්නේ ඒ ජනපි‍්‍රය මතය තුළ සිටිමිනි. මත්පැන් පානය සාධාරණීකරණය සඳහා ජේසු තුමන් අන්තිම රාතී‍්‍ර භෝජනයේදි  තම ගෝලයින්ට වයින් පානය කිරිමට දීමත්, විවාහ මංගල්‍යයකදි වයින් මදි වු විට ජේසු තුමා විසින් වතුර වයින් බවට හරවා පානය කිරිමට දීමත් යන කිතු සිරිතේ සිදුවීම් බත්තලංගුණ්ඩුව තුළ උපුටා දක්වා ඇත.

‘‘ජේසු ස්වාමිදරුවෝ ඉස්සිස්සෙල්ලාම ප‍්‍රාතිහාර පෙන්නුවේ කොහෙද? කානාත් නුවර සරණ මංගල්ලේදි. මොකක්ද කෙරුවේ?’’?


‘‘වතුර වයින් කළා’’ සින්බෑඩ් මැදට පැන උත්තර සපයයි. ‘‘උත්තරීතර වයින්’’ ඔහු පපුව මත කුරුසිය ඇඳ ගනී.


‘‘එදා ජේසු ස්වාමිදරුවො බිම අනුමත කළා. දේවමෑණියෝ තමයි ඉල්ලූවේ පුතේ! වයින් ටිකක් මවලා මේ තිබහා නිමන්න කියලා. ඒ කියන්නේ දේවමෑණීයොත් බිම අනුමත කළා. ඒ හින්දා අපිත් බීම අනුමත කරනවා. අපි කරන්නේ එදා ඉඳන්ම කරගෙන ආපු කරුමාන්තයක්. සහතික තියෙන කරුමාන්තයක්. අපිට මවන්න බෑ. ඒ හින්දා අපි පෙරනවා.’’


‘‘මිදිවලින් මිදියූෂ. පළතුරුවලින් පලතුරු යුෂ’’ වීදුරුව අතින් ගෙන ඉහළ ඔසවා එසේ පවසන සින්බෑඩ් වීදුරුව කටට හළා ගනී. වීදුරුව පසෙක තබා කුරුසිය ඇඳ ගනී. 
     
‘‘බොනවා කියන්නේ විනය. ඒක දේවාසිර්වාදෙ තියෙන වැඩක්’’ ලිලීනෝනා මගේ උරහිසට තට්ටු කර කියයි.

නමුත් සමස්ත කිතු දහම තුළ එවැනි සාධාරණිකරණයට ඉඩක් නොමැත. ශුද්ධ වු බයිබලයේ පැරණි ගිවිසුමේ මෙසේ සඳහන් වේ.

‘‘දුක කාටද? කාලකණ්ණිකම කාටද? අඬදබර කාටද? මැසිවිලි කාටද? රතු ඇස් කාටද? බීම බෝතලය ළඟ පමා වන මිනිසාටය. තව තවත් බොන්නට යන මිනිසාටය. මද්‍යසාරය රතට රතේ දිලිසෙන විට වීදුරුවේ පෙණ දමන විට ලස්සනට වැක් කෙරෙන විට ඒ දෙස නොබලන්න.

අන්තිමේදි එය නයෙකු මෙන් සපා කයි. පොළගෙකු මෙන් දෂ්ඨ කරයි.

සුරා සොඩුන්ද, මස් මාංසයට කෑදර වුවන්ද ඇසුරු නොකරන්න. මන්ද බේබද්දාත් කෑදරයාත් දිළිඳු බවට පැමිණෙති. ඔබත් වෙරි මතින්  හිඟමනට වැටෙනු ඇත.’’

මධුවිත සමඟ දිග හැරෙන සංවාදය තුළ බොහෝ සාධනිය කරුණු කාරණා ඉස්මතු වුවද බේබදුකම මනුෂ්‍යයාගේ උදාර බව කෙලසා දමයි. බත්තලංගුණ්ඩුවේ මෙන්ම බොහෝ ධීවර ප‍්‍රජාවන්ගේද දිළිඳුකම හා පවුල් ජීවිත අවුල් වීම කෙරෙහි බලපා ඇති එක් සාධකයක් ලෙස බේබඳුකම බලපා තිබේ. ඇන්ටනි දකින්නේ සරල සුන්දර සෞන්දර්යයකට මඟ පාදන මත්පැන් මධුසාද භජනය ගැන පමණි. නිසැකවම බීමත්කම කිතුනු ධීවර ප‍්‍රජාවගේ ජීවිත සමඟ බැඳි තිබේ. ඒ බැඳී තිබීම වඩ වඩා සාධාරණිකරණය කර ගැනීම මෙන්ම එය අවඥාවෙන් හා ව්‍යාජ සුචරිතවාදයෙන්  බැහැර කිරිම ඇති කරන්නේ එකම ආකාරයක අඳුරක් පමණි.     


designsnext.com

බත්තලංගුණ්ඩුව නවකථාව තුළ සියුම්ව ගලා යන තේමාවක් වන්නේ නිදහස් ලිංගික ජීවිතයයි. විවාහය නැමැති නෛතික රැහැන් පට ට ඔබ්බෙහි දිගහැරෙන ලිංගික ජීවිතය බත්තලංගුණ්ඩුව ජන ජීවිතය තුළ එක් අතකින් සාමාන්‍යකරණය වී පවතින බවක් ඇතැම් සිදුවීම් තුළ ගම්‍ය වේ. ඇන්ටනි බත්තලංගුණ්ඩුවට පැමිණි පළමු දවසේම රාතී‍්‍රය ගත කිරිමට එක් වතාවක් පමණක් හමු වු අනාමරියාගේ නිවසට යාම, ඒ ගමන සඳහා ඇන්ටනිගේ ම තාත්තා මං ලකුණු පෙන්වීම ඒ පිළිබඳ එක් නිදසුනකි.

ආනමරියා සමඟ ගෙවෙන පළමු රාතී‍්‍රයේදි ඇන්ටනී ගේ සිතුවිලි පොකුරක් මෙසේය.

‘‘නිරුවත් දෙපා වැල්ලෙහි ඔබමින් පැමිණි ආනමරියා කෙළින්ම කළපු රළ බිදෙන මා ඉමට පිය මැන සාය තරමක් ඔසවා පා තෙමයි.


නාගරීක පේ‍්‍රම දුක්ප‍්‍රාප්තියකට සාපේක්ෂව නිවහල් කොදෙව්වක පේ‍්‍රමයේ එළිපත්ත වුව කෙතරම් හෘදයාංගම ද? මා මෙතරම් ම නිදහස් ව ප‍්‍රශ්වාස සුසුම් හා මුසු කොට පාකොට හරින්නේ මෙතෙක් මා අත්විදි හෘදයේ අධි පීඩනය නොවේද? හෘදයේ කැටි ගැසුණු පිළුණු මතකයේ මේද ස්ථරය කළපු සුළගින් දියව ගිය පසු ඉතිරි වන්නේ හෘදයාංගමභාවය මිස අන් කවරක්ද?


මම සභ්‍යත්වයේ ඉබිකට්ට බිඳ ස්වභාවධර්මයට අනන්‍යවෙමින් සිටිමි. ප‍්‍රකෘතියට ආසන්න වෙමින් සිටිමි. පේ‍්‍රමය මනුෂ්‍ය ස්වරූපයයි. එහි ස්වභාවයයි. පේ‍්‍රමය ම කරණ කොටගෙන ඈත ඈත කොදෙව්වකට සම්ප‍්‍රාප්තව සිටින මම තරු බර හෝරාවක නිසල නෙත්කළු වෙරළක නන්නාඳුනන යුවතියකගේ දෝවනය වන දෙපා තුඩු දෙස බලා සිටිමි. ඒ දෙපා මත ගැටී විසුණු වී යන දිය සරැළි දෙස බලා සිටිමි. පේ‍්‍රමය විසින් මා රැගෙන එන ලද දුර. මසිත සැහැල්ලූවෙන් බර වේ."

නමුත් මේ නිවහල් කොදෙව්ව කිසිසේත් ලිංගික බලහත්කාරය නොඉවසන බව පෙන්වාදෙන සිදුවීමක් අපට හමුවේ. ඒ බත්තලංගුණ්ඩුවේ පොලිස් ප‍්‍රධානියා සටකපට ලෙස එහි ස්තී‍්‍රන්ගෙන් තම ආශා ඉටු කර ගැනීමට ධීවරයින් දක්වන විරෝධයයි.

එකී සිදුවීම විස්තර කරද්දී සින්බෑඞ් නම් ධීවරයා උපමා කොට ගත්තේ බයිබලයේ එන දාවිත් රජු තම සිත ගත් යුවතියක් අපහරණය කිරිමට ඇගේ සැමියාව යුද්ධයට යැවූ පුවතයි.

‘‘දාවිත් රජ්ජුරුවෝ සෙන්පතියව යුද්ධෙට යවලා ගෙට රිංගුවා වාගේ මූත් හැමදාම මොක හරි වාඩියක’’

මේ ලොක්කා ධීවර බිරිඳක් සමඟ යහන්ගතව සිටියදිම අල්ලාගෙන ඔහුට පහර දී වෙනත් ස්ථානයකට ගෙන ගොස් විසිකර දමන ධීවරයෝ ඔහුට අනුබල දුන් පොලිස් ගෝලයාටද දඩුවම් කරති.

....ගෝලයාගේ ඇඳුම් ලිහල මහ පල්ලිය ඉස්සරහ ගස් බැන්ද ගැහුවා බෝඞ් එකක් ඔළුවට උඩින් ‘‘පරදාර සේවනයට අනුබල දීම නිසා දෙවියන් වහන්සේ දුන් දඬුවමකි.’’


‘‘බොලාට තිබුණේ පිස්තෝලෙත් එක්කම ඌවත් කළපුවට තල්ල කරලා දාන්න’’ හිසෙහි අත් බැඳ වැල්ලෙහි දිගා වී සිටින කැහැට්ටා පවසයි.


‘‘මිනි නොමරව’’ ඒක දේව ආඥාවක්. කොහොමටත් මං ඌව මරනවට විරුද්ධයි. මොකෝ, බාගෙට බාගයක් වැරැද්ද කෙකර ගාන අම්මණ්ඩිලගේ’’


සින්බෑඩ් සෘජු බැල්මෙන් මදෙස බලයි. ‘‘ඇන්ටනි මහත්තයා දන්නවද’’ ඔහු අල්ල පොළොවේ ගස ගසා දිවුරන්නාක් මෙන් පවසයි. ‘‘ඩොනා අද තව වෙනකන් දන්නේ නැ අපි ඕකව ඉස්සුවේ උගේ වාඩියෙන් කියලා. අපේ එකෙක්වත් ඒ ගැන කෙළ බිංඳුවක් හැලූවේ නෑ. ඌ තව ෂෝක් එකට පවුල් කනවා.’’

නිදහස් පේ‍්‍රමය හා ලිංගිකත්වය ගැන ඇන්ටනිගේ සිතුවිලි ධාරාව ඔහු ආනමරියා හා සමඟ සම්භෝගයේ යෙදීම් අවස්ථා සමඟ විවරණය වෙයි.

‘‘.සම්භෝගයේ කුඨප‍්‍රාප්තිය තුළ සිතුවිලි අතුරුදහන් වී යයි. සිත ශුන්‍යත්වයේ ගැලෙයි. සංතෘප්තිය යනු ඒ අවකාශයම නොවේද? දෙවියන් වඩින්නේ සංතෘප්තියෙ නැවුම් අවකාශයටය. රමණයේ පවතින දේවත්වයේ සලකුණ නොදන්නෝ සතුට, සංතෘප්තිය වෙනුවෙන් නිරාහාරව යාච්ඥා කරති. මනුෂ්‍යභාවයේ ප‍්‍රාථමික ස්වභාවය දේව සමානාත්මතාවයි. එය පැහැදිලිවම බයිබලයේ උප්පත්ති පොත දක්වයි. පේ‍්‍රමයේ ලිංගිකත්වය මර්දනය කරගත්තෝ දෙවියන්ගේ පැමිණිම පතා දෑත් ඔසවාගෙන යදිති.


එහෙත් උන් වහන්සේ රමණයේ සත්කාර්යෙන් සතුටට පත් වු ආනමරියාගේ උපස්ථායක කුටියෙහි සක්මන් කරනවා ඇසේ.....‘‘

ශුද්ධ වු බයිබලයේ එන මූලික ඉගැන්වීමක් වන්නේ මිනිසා මවා ඇත්තේ දේව සමානකමට හා ස්වරූපයටය යන්නය. එහිදි දේව සමානකමේ මූලික ලක්ෂණයක් වන්නේ නිදහසයි.

‘‘දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවු සේක. දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාල සේක. පුරුෂයාද ස්තී‍්‍රද වශයෙන් ඔවුන් මැවු සේක.’’                                          
 (උත්පත්ති පොත 1/27)

ස්තී‍්‍ර පුරුෂ ඇසුර පූජනීය එකකි. මිනිසාගේ පූර්ණත්වය ඇත්තේ ඒ තුළය. සම්භෝගය කුණුහරුපයක් හෝ පාපයක් නොවේ. එය යාච්ඥාවක් ද විය යුතුය. ඇන්ටනි සම්භෝගය තුළ දිව්‍යමය බව සොයයි. නමුත් නිදහස් පරිපුර්ණ ජීවිතය තුළ දිව්‍යමය බව මතු කරන පවුල් ජීවිතය හෝ ලිංගිකත්වය, දේපල ක‍්‍රමය ඇති සමාජයක කුණුහරුපයක් බවට පත්වීම ඇන්ටනිගේ නිරික්ෂණයට හසු නොවේ.

තම වයසේ පසුවන නමුත් තමාගේ පියාගේ අඹුව බවට පත් වි ඔහුට දාව පුතෙකුද බිහිකර සිටින තමාට පුතා යයි අමතන ගේ‍්‍රටා හා ඇන්ටනි සම්බන්ධතාවයක් ඇති කර ගනී. අසරණ කම මගින් තම පියාවන් මිනිසෙකු සමඟ අඹුසැමියන්ව ජීවත් වීමට ඉරණම් ලබා සිටින ගැහැණියක් තුළ කැකෑරෙන, සමාජය විසින් නොකියවන හැඟිම් සමුදායක කථාවක් නොකියා කීම බත්තලංගූණ්ඩුව නව කථාවේ ප‍්‍රබලතාවයකි. ඇන්ටනි හා ගේ‍්‍රටාගේ සම්බන්ධය පේ‍්‍රමයද? නොමැතිනම් මර්ධිත හැගුම් සමුදායක් ඉඩ ලද මොහොතක මතු වී ඒමක්ද?

ඇන්ටනි ගේ‍්‍රටාගේ කලින් කසාදයේ දියණිය, අකුරු නොදන්නා ජසින්නාට තමා කැමැති බයිබල් පාඨය හඬ නගා කියවයි. ඒ පාඨය වනාහි පේ‍්‍රමය පිළිබඳ විශ්ව සාහිත්‍යයේ පවා  දැකිය හැකි ප‍්‍රබල කාව්‍යයකි. ශුද්ධ වු බයිබලයේ නව ගිවිසුමේ 1 කොරින්ති 14 වන ඡේදයයි.

‘‘පේ‍්‍රම පාරමිතාව’’


‘‘මා මිනිසුන්ගෙන් ද, දේව දූතයන්ගේද,

භාෂාවලින් කතා කරතත්

පේ‍්‍රමය මට නැත්නම්

මම ගෝෂා කරන ගන්ඨාරායකට හෝ

කටුක රාවය දෙන

කයිතාලමකට හෝ සමාට වෙමි.

දිවැසි වැකකි දෙසීම වරම මට තිබුණත්

සියලූ අභිරහස් ගැන අවබෝධයක් ද

සකල ඥානයද මට ඇතත්

කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත්

පේ‍්‍රමය මට නැත්නම්

මම හිස් තැනැත්තෙක්මි.

දන්දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්

මගේ සිරුර ගිනි පූජාවක් සඳහා බිලි දුන්නත්

පේ‍්‍රමය මට නැත්නම්

මට කිසි පලක් නැත.

පේ‍්‍රමය, ඉවසිලිවන්තය. කරුණාවන්තය.

පේ‍්‍රමය, ඊර්ෂ්‍යාව වන්නේ නැත.

පාරට්ටු කරගන්නේ නැත.

උඩඟු වන්නේ නැත.

පේ‍්‍රමය අවිනීත නොවේ.

ආත්මාර්ථකාමි නොවේ.

හනික නොකිපේ.

නපුර සිතේ ධාරණය කර නොගයි.

පේ‍්‍රඹය අනුන්ගේ වරද ගැන පී‍්‍රති නොවේ.

හරිදේ ගැන පී‍්‍රති වේ.

පේ‍්‍රමය සියල්ල උසුලයි.

පේ‍්‍රමයෙහි විශ්වාසයට ඉමක් නැත.

බලාපොරොත්තුවට නිමක් නැත.

ඉවසීමට අගක් නැත.

පේ‍්‍රමය සදාතනිකය.

දිවැසි වැකි වුවද පහව යන්නේය.

විවිධ ශබ්ද දෙසුම් වුවද නිම වන්නේය.

ඥානයද නැතිවන්නේ ය.

මන්ද අපේ ඥානය අසම්පූර්ණය.

දිවැසි වැකි දෙසීම ද අසම්පූණය.

මේ දිගු පාඨය සම්පූර්ණයෙන්ම කියවා නිමාවු පසු ගේ‍්‍රටාගේ ප‍්‍රතිචාරය විසින් නොකියන දෙය කියවීමට කතුවරයා අපට බලකරයි.

‘‘ මම සුසුමක් පිටකර හරිමින් ළය සැහැල්ලූ කරගනමි. ජසින්තා මේසය මත ගල් ගැසී ඇත. උළුවස්සෙහි හේත්තු වී මා දෙස බලා හිඳින්නී ගේ‍්‍රටාය. මා හිස ඔසවත්ම බිම බලාගන්නී, හැරි මුලූතැන් ගේ දෙසට පියමනී.’’

බත්තලංගුණ්ඩුව නව කථාව නිමාවන්නේ තාත්තා හා පුතාට මැදිවු ගේ‍්‍රටා කේන්ද්‍රකර ගනිමිනි. මැද ගැබ්බරවී සිටින ගේ‍්‍රටාය. දෙපස තාත්තා හා තාත්තාව කැඳවා ගෙන යාමට පැමිණි පුතා වන ඇන්ටනිය. අයිස් බෝට්ටුව යනු ඔහුට ආපසු යාමට ඇති බෝට්ටුවය. සිදුවන්නේ කුමක්ද?

‘‘ අයිස් බෝට්ටුව සෙමින් දියත් කරලීම අරඹයි. මම වාඩිය දෙස බලමි. තාත්තා මාළු පෙට්ටියක් මත වාඩිවී ඒ මත ඔසවා තබා ගත් කකුලක් මත අත් බැඳ බෝට්ටුව දෙස බලා හිදී.


වම් අත නමා පුළුල් වටොරෙහි රඳවා සිටින ගේ‍්‍රටා, දකුණතින් පිපීගෙන එක ගැබ පිරිමදින්නී, දෑස අහසෙහි පා කර හරි.


ඉමක් නොපෙනන කළපුවේ, බිඳි විසිරෙන රළ රැළින් ඇස මුදා ගන්නා මම, හැරි වාඩිය තුළට පිවිසෙමි.’’

නගරයේදි තමාට හමු නොවු පේ‍්‍රමය ඇන්ටනීට බත්තලංගුණ්ඩුවේදි හමුවීද? ඇන්ටනි ආපසු නගරය වෙත නොගොස් සිටීම ගේ‍්‍රටාගේ කැමැත්තය. ඒ කැමැත්ත තුළ ඇත්තේ පේ‍්‍රමයද?

කි‍්‍රස්තියානියේ මූලික ධර්ම ගුණය එසේත් නැත්නම් ඉගැන්වීම වන පේ‍්‍රමය බත්තලංගුණ්ඩුව නව කථාව තුළ අපට ස්පර්ශ වේද? ඉගැඹුරු පේ‍්‍රමය මතු පිට කාව්‍යමය වචනවලින් හා නිදහස්කාමි ලිංගික ජීවිතයක විඳීම් තුළින් පමණක් හසුකර ගත හැකිද?

බත්තලංගුණ්ඩුවේ ජන ජීවිතය එහි කිතුනු සංස්කෘතියේද ධීවර ජන ශ‍්‍රැතියේ සුවිශේෂි හැඩතල තුළින් ද ඉතා නිර්මාණශීලිව හා කාව්‍යමය ලෙස සිතුවම් කිරිමට මංජුල මෙම නවකථාව තුළ සමත්වෙයි. විශේෂයෙන් මෙරට ජනගහනයෙන් 7%ක් පමණ වන කි‍්‍රස්තියානින්ගේ ජීවන විලාසයේ ඇතැම් අංශ සංස්පර්ශ කිරිම මගින් ඔහු ලාංකේය සාහිත්‍යයට නව මානයක් එකතු කරයි.


මංජුල වෙඩිවර්ධනගේ මූණුපොත් පිටුවෙනි.
බත්තලංගුණ්ඩුවේ ජනතාවගේ ජීවිතය කෙරෙහි බලපාන එම ජනතාව පවා අවධි නොවු සමාජ ආර්ථික කාරණාවන් විග‍්‍රහ කිරිම නව කථාවක කාර්යභාරය නොවන බව සැබැ මුත් එකී කාරණා එල්.ටී.ටී. ය ධීවර බෝට්ටු ගැනිම, එල්.ටී.ටී.ය විල්පත්තු කැලැව ආරක්ෂා කිරිම හමුදාව හා පොලිසිය කප්පම් ගැනිම ආදි සිදුවීම්වල මතුපිටින් ඔබ්බට මඳක් හසුකරගත හැකි වූයේ නම් සුසංවර්ධිත ජීවිතයක් උදෙසා ඉමහත් ආලෝකයක් සම්පාදනය වන කථාවක් අපිට හමුවනු ඇත.

අද බත්තලංගුණ්ඩුවේ ධීවරයා ඔහුගේ ප‍්‍රාථමික ජීවිතයෙන් ගලවා දමා වෙළඳ පොල සංවර්ධනයේ ගොදුරක් බවට පත් කරමින් සිටී. කල්පිටිය දූපත් එම සංවර්ධනයේ දඩබිම් බවට පත්කොට ඇත. ඉදිරියේදි ඔවුන්ට හමුවීමට නියමිත වන්නේ ඔවුන් මෙතෙක් ගත කළ සරල ජීවිතයේ අත්දුටු පේ‍්‍රමය වෙනුවට අලවි භාණ්ඩයක් වන පේ‍්‍රමයයි. පේ‍්‍රමය ලිංගිකත්වය හා නිදහස එහි උත්තරීතර ස්වභාවයෙන් මුදවා වියවුලක් බවට පත් කරන ක‍්‍රමයේ නරුමකම නගරයෙන් බත්තලංගුණ්ඩුව වැනි හුදකලා ලෝකයන් වෙතද ගමන් කිරිමේ යථාර්ථය අද එම දූපත්වාසින්ට අභිමුඛ වෙමින් තිබේ.

පපු කැවුත්තෙන්ම අව්‍යාජව ජීවිත සටනට උරදෙන පේදුරු නම් ජේසුස්ගේ අග‍්‍ර ශ‍්‍රාවකයාගේ පරපුර සතු අහිංසක ඇදහිල්ලේ පොල්මඃකරුවන් වන සභාව මේ සංවර්ධන ව්‍යාධිය ඉදිරියේ ධීවරයා නිවට කර බලවතුන්ගේ ව්‍යාපෘතිය කෙරෙහි ඔහුව බැඳ තැබීමට සහය වනු ඇත. බත්තලංගුණ්ඩුව නව කථාව තුළ අන්තෝනි මංගල්‍ය පවත්වන්නට සභාව දායකවන තරමින් අංශූ මාත‍්‍රයකින්වත් ගුංඩුවේ අධ්‍යාපනය නැංවීමට සභාව කි‍්‍රයාත්මක නොවීම මගින් පෙන්වන යථාර්ථය එයයි.

‘‘පඳුරු ලලා වැඩුණු තණකොළින් අතරින් පතර වික්ෂෝප මාතා පාසලේ අත්තිවාරම දිස්විණ. එය ගොඩනැඟිල්ලක් නොමැති පාසලකි.


ඇමතිවරයෙකු අතින් රෙදි ඇරුණු සිහිවනට ඵලකය, උස්තෘණ පඳුරු අතර සැඟවී සිටියේ ලැජ්ජාවෙන් බේරි සිටීමට මෙනි’. වික්ෂෝප මාතාව අහසේ කොතැන හෝ සිට බත්තලංගුණ්ඩුව දෙස බලා සිටියේ නම්, ඇය බොහෝ සේ වික්ෂෝප වන්නට ඇත්තේ මෙහි පාසලක් නැති නිසා නොව දේශපාලක අහිනක් අතර ඇගේ ශී‍්‍ර නාමය ද කොටා තිබුණු නිසාවෙනි.


‘‘ඇයි මේක හදන්න බැරි’’ මම ධීවර සමිතියේ රේගන්ගෙන් ඇසුවෙමි.


‘‘මුදලාලිලගෙ, බෝට්ටු අයිතිකාරයන්ගේ ළමයි මීගමුවේඉස්කෝල නැත්තේ රස්සාකාරයන්ගෙයි, අත්උදව්කාරයන්ගෙයි ළමයින්ට’’ රේගන්ගේ පිළිතුර වූයේ එයයි.


‘‘ ඒ අයට තමයි ඉස්කෝලේ  ඕනේ’’


‘‘මේ වගේ තැන්වලට එන්න ගුරුවරු කැමති නෑලූ’’

ප‍්‍රශ්නයක් දැනෙන්නේ, ඊට මුහුණ දෙන්නා හා ප‍්‍රශ්නය අතර ඇති සම්බන්ධයේ පරිමාණයට සාපෙක්ෂවයි. රේගන් සමිතියේ කවර නිලයක් උසුලන්නේ වුව ඉස්කෝල ප‍්‍රශ්නය ඇත්තේ ඔහුගේ ජීවිතයට සාපෙක්ෂව බොහෝ ඈතිනිඔහු මුදලාලි කෙනෙකි. දරුවන් සිටින්නේ මීගමුවේය.


‘‘මේකේ සීයට අනුවක් කි‍්‍රස්තියානිකාරයෝ. ඇයි බැරි සභාවට කියලා කෙනෙක් ගෙන්න ගන්න?

සරල ඇදහිල්ලේ සැඟව ඇති විමුක්තිදායක ගිනි පුළිගූ දල්වමින් ඉහත කී යථාර්ථයට ගුංඩුවේ ජනයා ඉසියුම්ව අවදි කරන දූතයෙකුගේ සම්ප‍්‍රාප්තියක් බවට ඇන්ටනිගේ පැමිණිම පත් නොවන්නේ ඔහු මේ මොහොතේ පසුකරන ජීවිත අරගලයෙන් එය දුරස්තර බැවිනි. නමුත් ඇන්ටනි බත්තලංගුණ්ඩුවේ නැවතීම එවැන්නක ආරම්භයක්  විය නොහැකිද?

ඇන්ටනිට, ගේ‍්‍රටාට, තී‍්‍රසාට, ආනමරියට, සින්බෑඩ්ට මෙන්ම අපටද ආදරය හමුවන්නේ, ආදරයෙන් තොර සමාජ ආර්ථීක මෙන්ම ආගමික ව්‍යුහයන්ගෙන් මිඳුනු ජීවිතයක් ලෝකය තුළ ප‍්‍රතිෂ්ඨාපනය කර ගැනිමෙනි. ඇන්ටනි ඇතුළු පාත‍්‍ර වර්ගයා සොයන්නේ ඒ ආදරයි.


මහින්ද නාමල්
කිතුසර ප්‍රධාන සංස්කාරක