Friday, April 29, 2016

වතු කම්කරුවන්ගේ පූජකයා



ගරු. ගයි ඩිපොන්ට්ගලන්ඩ් පියතුමා

‘‘වෘකයන් මැදට බැටළුවන් මෙන් මම ඔබ යවමි” යි සමිඳාණෝ පැවසූ සේක. තමන්ට නුපුරුදු බිමක, නුපුරුදු මිනිසුන් අතර, සැකය, වෛරය හා ක්‍රෝධය පිරි සපුන් වන් මිනිසුන් විසින් වට කරන ලදුව සිය කිතුනු මෙහෙවර තුළ ස්ථීරසාරව පැවතිය හැක්කේ මහා දැක්මක් හා අධ්‍යාත්මයක් සතු වූවකුට ය. සන්තියාපිල්ලෙයි ගයි ඩී. ෆොන්ට්ගලන්ට් පියතුමා ද එවැන්නෙකැයි කිව හැක. එතුමා සිසිලියා හා මාරියම්පිල්ලෙයි සන්නියාපිල්ලෙයි යන දෙපළට දාව 1946. 10. 24 දා යාපනයේ කයිට්ස් හි සුරුවිල් නම් කුඩා ග‍්‍රාමයේ උපත ලැබීය. දරුවන් පස් දෙනෙකු ගෙන් යුත් පවුලක තෙවැන්නා වූ ගයි කුඩා කලදී මා පියන්ට ඉතා කීකරු දරුවකු වූ අතර මේ නිසාම මව ගෙදර දොර කටුයුතුවලට උදව්කර ගත්තාය. වයස අවුරුදු පහවන විට ලිප ගිනි මොලවා තේ සූදානම් කිරීමට හැකියාව ලබා තිබූ මේ දරුවාට වයස අවුරුදු 10 වන විට මව අසනීප විය. ඒ නිසා පාසල් නොගොස් ගෙදර නැවතී මවගේ කටයුතුවලට උදව් කරන්නට අනෙක් අය ඔහුට බල කළහ. කුඩා ගයි මීට දැඩි විරෝධය පළ කළ අතර ඔහුට පියාගෙන් හොඳටම ගුටි කන්නට ද සිදුවිය. කෙසේ වුවද කුඩා කල සිට ම මහන්සිවී වැඩ කරන්නට ගයි පුරුදු විය. 

පූජක පුහුණුව 

පූජකවරය අපේක්ෂාවෙන් දෙව්සත්හලට පිවිසි ගයි ඩී. ෆොන්ට්ගලන්ඩ්ගේ යුගයේ කතෝලික සභාව තුළ සුවිශේෂී සිදුවීමක් විය. ඒ දෙවන වතිකාන කතිකාවයි. එය පූජක සිසුවන් පුහුණු කිරීම පිළිබඳ නව දැක්මක් ඉදිරිපත් කර තිබුණි. මේ දැක්මෙන් ජීවය ලද ගයි ඇතුළු දෙව්සත්හල් සිසුවෝ පූජක පුහුණුවේ වෙනසක් ඉල්ලා සිටියහ. එවකට දෙව්සත්හල් පුහුණුව බාරව කටයුතු කළ නිමල මරිය නිකායික පියවරු ඊට යම් අනුකූලතාවක් දැක්වූවද රදගුරුතුමන්ලා තුළ ඒ පිළිබඳ ප‍්‍රසාදයක් නොවූ අතර ඔවුහු පුහුණුව තමන් අතට ගත්හ. එහෙත් සැලකිය යුතු වෙනසක් නොවීය. එවකට යාපනය රදගුරුතුමා ගතානුගතික දැඩි මතධාරියකු වූ අතර බලෙන්ම යාපනය පදවියට අයත් සියලූම සහෝදරතුමන්ලාව අම්පිටිය දෙව්සත්හලෙන් ඉවත් කරගත්තේය. මේ නිසා යාපනය පදවියට අයත් වූ සමහර සහෝදරතුමන්ලා වෙනත් පදවිවලට හා වෙනත් පැවිදි නිකායනට බැඳුණහ. ගයි සහෝදරතුමාට ඒ වන විටත් එවකට නුවර පදවියේ රදගුරුතුමාව සිටි ලියෝ නානායක්කාර රදගුරුතුමා පිළිබඳ පැහැදීමක් තිබිණි. ඔහු මේ ප‍්‍රශ්නය එම රදගුරුතුමා සමඟ සාකච්ඡා කළේය. ‘සභාව තුළ ඔබට තැනක් ඇත.” කියමින් 1971 දී ලියෝ රදගුරුතුමා නුවර පදවියට ඔහු පිළිගත්තේය. 

නුවර ජාතික දෙව්සත්හලේ අධ්‍යාපනය ලබන සමයේ දීර්ඝ නිවාඩු කාලවලදී විවිධ ප‍්‍රදේශවල සිය දූත මෙහෙවර අභ්‍යාස කරන්නට සහෝදරතුමන්ලා යවන සිරිතක් ඇත. ඒ වන විටත් අභාවප‍්‍රාප්ත රෙඤ්ඤෝ රදගුරුතුමා වතුකම්කරුවන් වෙනුවෙන් කරමින් සිටි කටයුතු පිළිබඳවත්, වතුකම්කරු ගැටලූ පිළිබඳවත් ගයි සහෝදරතුමාට දැනගන්නට ලැබී තිබූ අතර සිය නිවාඩු කාලය වතුයායක ගතකරන්නට ඔහු ශ්‍රේෂ්ඨයන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව රත්නපුර පදවියට අයත් ගලබොඩ වතුයායේ ඇති මූලික නැවතීමේ පහසුකම් පවා නොතිබුණු කුඩා දෙව්මැඳුරක ඔහු නතර විය. දෛනික ආහාරවේල සැපයූවේ දිළිඳු වතුකම්කරුවන් විසින් ය. මෙහිදී මූලික මග පෙන්වීම දුන්නේ ජේසු නිකායික පියතුමකු වූ ජේකබ් ප‍්‍රනාන්දු පියතුමා ය. වතුකම්කරුවන්ගේ සමාජ, ආර්ථික දේශපාලන ආගමික ජීවිතය ගැන බොහෝ දේ ගැන එතුමාට දැනගන්නට ලැබුණේ මෙතැනදී ය. එය මුලූමනින්ම වහල් තත්ත්වයක් විය. ඔවුන්ගේ ආගමීක ජීවිතය ද එසේ විය. මීසම් භාර පියතුමා වේවැලක් ද රැගෙන ලැයිම් කාමර වටා යමින් ජනයාට පල්ලි යන්නට බලකරන ආකරය එතුමා දුටුවේය. එමෙන්ම ඔවුන්ගේ ආගමික වතාවන් ද ඔවුන් මුහුණ දෙන යථාර්ථය පිළිබඳ ව ඔවුන් අවදි කරන්නක් නොවීය. කළමනාකාරීත්වය ද, ආගමීක නියෝජිතයන් ද, වෘත්තීය සමිති නාකයන් ද මේ අය ඔවුන්ට වාසිදායක අයුරින් පාලනය කරමින් සිටි අතර මේ සියලූ දෙනා ම අර්ධ වහල් ක‍්‍රමයක් පවත්වාගෙන යාමට සහය දුන්නෝ වූහ. ගයි පියතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය මෙය වූ අතර මෙම ජනකොටස පිළිබඳව ගැඹුරින් හදාරන්නටද ඔවුන් වෙනුවෙන් කැපවන්නට ද යොමු කළ හේතුව වූයේ ද මෙයයි. 

1973 දී නුවර පදවිය දෙකඩ කර බදුල්ල පදවිය නිර්මාණය කරන ලදී. එහිදී ලියෝ නානායක්කාර රදගුරුතුමා බදුල්ල පදවිය භාරගත්තේ ය. ගයි සහෝදරතුමාද ඒ අනුව බදුල්ල පදවියට සම්බන්ධ වූ අතර 1974 දී සිය උපන් ගම වූ සුරුවිල් ග‍්‍රාමයේදී ලියෝ නානායක්කාර රදගුරුතුමා අතින් පූජකවරය ලැබීය. 

දූත මෙහෙවර 

මෙතුමාගේ යොමුව පිළිබඳව හොඳ අවබෝධයක් තිබූ ලියෝ නානායක්කාර රදගුරුතුමා මුල සිටම එතුමා යොමු කළේ සමාජයීය අපෝස්තලික සේවාවන් සඳහාය. 1975 දී එතුමාට බදුල්ල පදවියේ සමාජයීය අපෝස්තලික සේවා මධ්‍යස්ථානය වූ ශා. බීඩ් මධ්‍යස්ථානයේ කටයුතු බාරවිණි. (1976 දී USCOD යන නම ලැබුයේ මෙම මධ්‍යස්ථානයයි) 
USCOD
 මධ්‍යස්ථානය මඟින් වතු කම්කරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන් ද, ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් විවිධ අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු වැඩසටහන් ද, ඔවුන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීමෙහිලා සැකසුණු ස්වයං රැකියා ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක කරන්නට එතුමාට හැකි විය. එපමණක් නොව නගර සභාවේ කුණු අදින්නන් වැනි නුපුහුණු කම්කරුවන් සඳහා සමූපකාර සමාජ ගොඩනගමින් ඔවුන් ශක්තිමත් කිරීම, දුෂ්කර ගම්මාන, හා වැන්දඹුවන් සඳහා විවිධ ආදායම් ඉපැයීමේ මාර්ග හා සහන ව්‍යාපෘති සංවිධානය කිරීම, කෘෂිකාර්මික හා සත්ත්ව පාලන කටයුතු සඳහා අතදීම වැනි කටයුතු රැසක් කරන්නට අවස්ථාව ලැබිණි. එතුමා විසින් අරඹන ලද කම්කරු සංවර්ධන සමාජය නම් ජනතා ව්‍යාපාරය 1983 වන විට කලාප හතක පැතිර තිබූ අතර 5000 ක පමණ සාමාජිකත්වයක් දක්නට ලැබිණි. තවද අතරමග පාසල් හැරගිය අය වෙනුවෙන් මූලික අධ්‍යාපනික වැඩසටහන් මෙන්ම අලූත් ලෝකයක් පිළිබඳ අපේක්ෂාවන් සැඟවූ ‘‘නව උදයම්” නම් දමිළ සඟරාව සංස්කරණය කිරීම ද මෙහිලා අමතක කළ නොහේ. 

නව ලොවක් පිළිබඳ පැතුම් පතන්නවුන්ගේ ගමන් මග පහසු නැත. එය කටු කොහොලින් පිරී ඇත. 1977, 1979, 1981 හා 1983 වර්ෂවලදී කිසිදු සාධාරණ හේතුවක් නැතිව දුප්පත් වතු කම්කරුවනට එරෙහිව වර්ගවාදී ප‍්‍රචණ්ඩත්වය එල්ල විය. ඊට එරෙහිව හඬ නගන්නට ගයි පියතුමාට සිදු විය. වතු කම්කරුවන් දැනුවත් කිරීම පිළිබඳව සාම්ප‍්‍රදායික වෘත්තීය සමිති නායකන් තුළ එතරම් කැමැත්තක් නොවීය. ඔවුන් මෙන්ම ඇතැම් දේශපාලකයෝද මේ කටයුතු පිළිබඳව ප‍්‍රසාදයක් නොදැක්වූ අතර වෘත්තීය සමිති කටයුතු මර්දනය කිරීමට අවස්ථාවක් සොයමින් සිටියහ. එම අවස්ථාව 1983 දී උදා විය. එක්තරා දේශපාලනඥයෙක් කියා සිටියේ පියතුමා ඇතුළු පිරිස සංස්කෘතික මධ්‍යස්ථානයක මුවාවෙන් ත‍්‍රස්තවාදීන් පුහුණු කරන බවය. එය 1983 දෙසැම්බර් මස හැන්සාඩ් වාර්තාවේ ද සටහන් විය. 
USCOD
 මධ්‍යස්ථානයේ කොටසක් ගිනි තබනු ලැබූ අතර ඒ පිටුපස ඇතුම් දේශපාලකයෝ වූහ. පියතුමා ද එතුමාගේ කාර්ය මණ්ඩලයේ ඇතැම් සහයකයන්ද දිවි ගලවා ගත්තේ අනූ නමයෙනි. 

එවකට පැවති දරුණු තත්වය තුළ විදේශගත වීම හැර වෙනත් විකල්පයක් එතුමාට නොවීය. එහෙත් එම විප‍්‍රවාසගත යුගයට ද එතුමා නිහඬ කළ නොහැකි විය. එතුමා දිවිබේරාගෙන යුරෝපා රටවලට පළා ආ සරණාගතයන් පිළිබඳව සමීක්ෂණයක් කර එම අත්දැකීම් ලේඛනගත කළේය. තවද ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සිටි සරණාගතයින් වෙනුවෙන් සේවය කරමින් වසර 5 ක් පුරා ඉන්දියාවේ තිබූ සියලූම සරණාගත කඳවුරු පිළිබඳ සිය අත්දැකීම් කැටිකරගත් ‘‘විප‍්‍රවාසගත ශී‍්‍ර ලංකිකයයෝ” (Sri Lankans in Exile) කෘතිය ලියා පළ කළේය. තවද (Ceylon Today) සහ ‘‘ඉලංගයි ඉන්ඩ‍්‍රැ” සඟරාවන් සංස්කරණය කරමින් විප‍්‍රවාසගතව හඬක් නැතිව සිටි ජනයාගේ හඬ බවට පත්විය. 

එතුමාට අභියෝග එල්ලවූයේ වර්ගවාදී චින්තනය විසින් කුණුවීම ආරම්භකර තිබෙන සමාජ දේශපාලනික බල ව්‍යුහයෙන් පමණක් නොවේ. සභා දේශපාලනය ද එතුමාට එරෙහිව කි‍්‍රයාත්මක විය. 1982 දී ලියෝ නානායක්කාර රදගුරුතුමා අභාවප‍්‍රාප්ත වන තෙක් සභාවේ නිල සහයෝගය එතුමාට ලැබිණි. එහෙත් ඉන්පසු බදුල්ල පදවිය තුළ එම සහයෝගය අවම විය. දිළින්දන් කොන්කරනු ලැබූවන් හා සූරාකෑමට ලක්වූවන් සමඟ කරන මෙම කටුයුතු ඇතැමුන්ගේ ‘‘පූජක ඊර්ෂ්‍යාවට” (Clerical Jealousy) ලක්වීම නිසා ද විවිධ ගැහැට විඳින්නට එතුමාට සිදුවිය. කෙසේ වුවද 1990 සිට 1995 දක්වා කාලය තුළ අභාවප‍්‍රාප්ත එඞ්මන්ඩ් ප‍්‍රනාන්දු රදගුරුතුමා යටතේ නායබැද්ද මීසම් සේවක පියතුමා ලෙස ද, ‘‘ලියෝ මාර්ග ආශ‍්‍රමය” තුළින් විවිධ සමාජ හා ආගමීක කටයුතු මෙහෙයවන්නට එතුමා කටයුතු කර ඇත. තවද World Social Forum වැනි සමාජ වෙනසක් සඳහා වන ජාත්‍යන්තර ප‍්‍රයත්නයන් හා සම්බන්ධ වෙමින් ඒවා වෙනුවෙන් සිය අත්දැකීම් හා දායකත්වය පුදකරන්නට ද එතුමා කටයුතු කළේය. 

කි‍්‍රස්තියානිය හා දූත මෙහෙවර 

ගයි ඩී. ෆොන්ට්ගලන්ඩ් පියතුමා කි‍්‍රස්තියානිය දකින්නේ කි‍්‍ර. වර්ෂ 3 වන සියවස තෙක් වූ මුල් කිතුනු සංඝයේ අත්දැකීම් තුළ ය. එම කාලය තුළ ඔවුහු තමන් සතු සියල්ල පොදුවේ තබා ගනිමින් එකිනෙකාගේ වුවමනාවේ හැටියට බෙදාගත්හ. ඔවුන් අතර පොහොසතුන් හෝ දුප්පතුන් නොවු අතර එය පන්ති විරහිත සමාජයක් විය. ඔවුහු තමන් පිළිගත් සත්‍යය තුළ ජීවත් වූ අතර ඒ වෙනුවෙන් දුක් පීඩාවලට හා මරණයට මුහුණ දුන්හ. එතුමා සිය දූත මෙහෙවෙර ලෙස දකින්නේ හඬක් නැති වතු කම්කරුවන් සියලූ ආකාර පීඩනයන්ගෙන් මුදාගෙන නිදහස් හා සමාන ශී‍්‍ර ලාංකික පුරවැසියන් බවට පත් කිරීම ය. 

ශී‍්‍ර ලාංකේය යථාර්ථය හා කි‍්‍රස්තියානියේ වර්තමානය 

දශක ගණනාවක් පුරා ශී‍්‍ර ලංකාවේ සූරාකෑමට ලක්වන දිළිඳුම ජනකොටසක් මැද අනේක විධ අභියෝගයන් මැද සිය දූත මෙහෙවර ගෙන යන්නා වූ ගයි පියතුමා අද්‍යතන ලාංකේය යථාර්ථය තුළ කි‍්‍රස්තියානිය දකින ආකරය ද මෙහි ලා සටහන් කිරීම වැදගත් යැයි සිතමු. 

එතුමාට අනුව කිසිදු ආගමක් ප්‍රචණ්ඩත්වය, වර්ගවාදය හෝ මූලධර්මවාදය අනුමත නොකරයි. ශී‍්‍ර ලංකාව ආගමික රටකි. ජනගහණයෙන් සියයට අනූවකට වඩා ප‍්‍රධාන ආගම් අදහන්නෝ වෙති. එහෙත් ශී‍්‍ර ලංකාවේ ආගම් සාමය, සාධාරණත්වය හා සමානාත්මතාව පිළිබඳ සිය දහම් හරයන් මේ දේශය තුළ ස්ථීරසාර ලෙස රෝපණය කිරීමෙහිලා අසමත් ය. 

විවිධ වාර්ගික ජනකොටස්වලින් සමන්විත ශී‍්‍ර ලාංකීය කි‍්‍රස්තියානිය ද සුලූ ජනකොටස් මුහුණ දෙන ගැටලූව පිළිබඳ ස්ථීර ස්ථාවරත්වයක් ගත නොහැකිව වැනෙමින් සිටී. සැබෑ කිතුනුවා බහුතරවාදය හා කල්ලිවාදය අභිබවා සත්‍යයට සාක්ෂි දරමින් ජාති කුල ආගම් භේදයකින් තොරව සූරා කෑමට ලක්වන, කොන්කරනු ලැබූ දුබල කරනු ලැබූ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එහෙත් කිතුනුවන් ලෙස මෙහිලා අපි අසමත් වී ඇත්තෙමු. මේ නිසා ම අපි සමාජය ආර්ථික, සමාජයීය, දේශපාලනික හා ආගමික වශයෙන් පසුගාමී වී සිටිමු. 

සිංහල කි‍්‍රස්තියානිය ද්විත්ව රංගනයක යෙදී සිටී 1971 කැරැල්ල සමයේ රජයේ සැකයට බඳුන් වූ පියතුමන්ලා ආරක්ෂා කර ගැනීමට විවිධ පියවර ගත් කතෝලික සභාව ජාතික ගැටලූව සම්බන්ධයෙන් කටයුතු කළේ වෙනත් ආකාරයකිනි. 1983 ජූලි කලබල කාලයේදී සිංහල රදගුරුවරු තුන්දෙනෙක් ජනාධිපති විසින් පනවන සියලූ නීති හා විධානයන්ට අනුගත විය යුතු යැයි පවසමින් ජයවර්ධන රජයට සහය පළ කළහ. මෙය එම අවධියේදී රූපවාහිනියෙන් විකාශ විය. පසුව වන්කාලෙයි හීදි මේරි බැස්ටියන් වැනි දමිල පියවරුන් මරා දැමෙද්දී ඔවුන් පලාගියා මිස ඝාතනය නොවූ බව පවසමින් රජයට සිය සහය පළකළහ. මෙම වකවානුවේදී ගයි පියතුමා Ceylon Today සඟරාවට ‘‘සභාව වෙන්වී ඇත්ද?” (Is the Church divided) මැයෙන් ලිපියක් ලිවීය.. මෙම සත්‍යය ප‍්‍රකාශ කිරීම නිසා දකුණේ කතෝලික සභාවේ ඇතැම්මු එතුමා රැඩිකල්, වර්ගවාදී හා සන්නද්ධ කණ්ඩායම්වලට උදව් කරන්නකු ලෙස හැඳින්වූහ.අද පවා සමහර කිතුනුවෝ වර්ගවාදය වපුරන අතර එක්තරා මධ්‍යස්ථානයක සේවය කළ සියලූ ම දෙමළ පැවිදි සොහොයුරියනට මේ හේතුව නිසාම එම මධ්‍යස්ථානය හැර යන්නට සිදුවී ඇති බව ගයි පියතුමා පවසයි. 

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රස්තියානිය ගැන තදබල විවේචනයක යෙදෙන ගයි පියතුමා එය මිය ගොස් ඇතිබවක් පවසයි. ලියෝ නානායක්කාර රදගුරුතුමා, ලක්ෂ්මන් වික‍්‍රමසිංහ රදගුරුතුමා හා දියෝගුපිල්ලේ රදගුරුතුමා වැන්නන්ගේ අභාවයෙන් පසු අනෙක් උදවිය ශී‍්‍ර ලංකාවේ අනෙක් කාදිනල් වරයා වීමට තරඟ කරමින් සිටින බව එතුමා පවසයි. තවද ලක්ෂ 3කට ආසන්න තම ජනතාව කම්බි දැල්වලින් වට කරන ලදුව සරණාගතව අසරණව සිටින අවස්ථාවක මන්නාරම රදගුරුතුමා මඩු මංගල්‍යයට සහභාගීවීමෙන් වැළකී සිටිද්දී වත්මන් කොළඹ අගරදගුරුතුමා මඩු මංගල්‍යයේදී කළ කථාව, දකුණේ රජයට මෙන්ම දකුණේ සභාවට ද උතුර පාලනය කිරීමේ වුවමනාව ඇතිබව පෙන්නුම් කරයි. තවද, තම සෙනඟ කම්බි දැල්වලින් කොටුවී සිටින අසරණ තත්වය තුළ මඩුපල්ලියට සුරුවම් යැවීම උතුරු නැගෙනෙහිර ජනයාගේ අවශ්‍යතාවක් නොවේ. එය බයිබලීය ඉගැන්වීමට ඉඳුරා ම පටහැනි වතාවත්වලට කොටුවුණු ජනපි‍්‍රය කි‍්‍රස්තියානියක් පමණි. කි‍්‍රස්තියානියේ මේ අසමත් තත්ත්වය වර්ධනය වෙමින් පවතින නිදහස් හා මූලධර්මවාදී සභාවන් ප‍්‍රමාණයන්ගෙන් පිළිබිඹුවන බව ගයි පියතුමා පවසයි. සභාව වෙනස්වන්නට සූදානම් නැතිනම් අනාගත සභාව රදගුරුවරු, පූජකවරු හා පැවිදි සොයුරියන්ට සීමාවන අතර දෙවන වතිකානු කතිකාවෙන් පවසන ආකාරයට සභාව යනු ඇඳහිලිවන්තයන්ගෙන් සමන්විත දේව ජනතාව නම් නොවනු ඇත. 

අනාගත සභාව 

සාර්ථක සංස්කෘතියක සමාජිකයෝ යැයි අපි බොහෝ විට අපි ගැන සිතමු. ලෝකය භෞතිකව දියුණු වී ඇත. එහෙත් අධ්‍යාත්මිකව දිළිඳු ය. එබැවින් දැන්වත් නතරවී කල්පනා කළ යුතුය. අසීසියේ ප‍්‍රැන්සිස් තුමා පවසන ආකාරයට අහසටත් පොළවටත් සහෝදරත්වයෙන් සලකන ආදරයේ ලෝකයක් තැනිය යුතුය. ජෙරමියා දිවැසිවරයාගේ පොතෙන් ඉඟිවන ආකාරයට පාපිෂ්ඨ සමාජ ව්‍යුහයන් කඩා බිඳදමා ආදරයේ සමාජයක් වෙනුවෙන් කැපවන නව මිනිසුන්ගෙන් සමන්විත සභාවක් සඳහා සියලූ ප‍්‍රගතිශීලී කිතුනුවෝ පෙරමුණ ගත යුතු බව ගයි පියතුමාගේ අදහසයි.

(‘‘කිතුදහමේ විමුක්ති හරයට පණ පෙවූවෝ‘‘ කෘතියෙනි)

2016 මාර්තු- අප්‍රේල් 

No comments:

Post a Comment

කිතුසරට එක් කරන ඔබේ ස්වර...